පාසලට පැමිණෙන අතරතුර බස් රථයේදී අත්වැරදීමකින් තමන් සතු වූ රුපියල් දස ලක්ෂ අනූපන්දහසක (රු. 1,095,000) මුදලක් අඩංගු ගමන් මල්ලක් නැවත එහි නියම හිමිකාරිය සොයා භාර දීමට මාලබේ ආදර්ශ පිරිමි විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අකිල දේශප්‍රිය සිසුවා කටයුතු කර තිබේ. දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවාගේ අවංකභාවය මේ වන විට මුළු රටේම පැසසුමට ලක්ව ඇත.
බ්‍රහස්පතින්දා උදෑසන බස් රථයේ අධික සෙනඟක් සිටි බැවින් අකිල සිසුවා සහ නුගේගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන නිලධාරිනියක සිය බෑග් දෙකම වාඩි වී සිටි පුද්ගලයෙකු අතට ලබා දී ඇත. බැස යන අවස්ථාවේදී බෑග් දෙකම එකම පැහැයෙන් යුක්ත වීම නිසා මාරු වී ඇති අතර, පාසලට පැමිණි අකිල පොත් ගැනීමට බෑගය විවෘත කිරීමේදී එහි තිබූ විශාල මුදල් නෝට්ටු තොගය දැක තිබේ. වහාම ක්‍රියාත්මක වූ සිසුවා මේ පිළිබඳව සහකාර විදුහල්පතිනි ආශා චම්මි මහත්මිය දැනුවත් කර ඇත.
අනතුරුව විදුහල්පති සිසිර ගුණරත්න මහතා සහ ගුරු මණ්ඩලය මැදිහත් වී බෑගයේ තිබූ බැංකු පොතක තොරතුරු ඔස්සේ මාලබේ පොලිසිය ද දැනුවත් කරමින් එහි නියම හිමිකාරිය සොයා ගැනීමට සමත් විය. මාලබේ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඉදිරියේ අදාළ මුදල ඇය වෙත සුරක්ෂිතව භාර දීමට කටයුතු කෙරිණි.
අගහිඟකම් පවතින වර්තමාන සමාජය තුළ පාසල් සිසුවෙකු ප්‍රදර්ශනය කළ මෙම අසිරිමත් අවංකභාවය විදුහල්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ ඉහළ ඇගයීමට ලක් විය. මාලබේ ආදර්ශ පිරිමි විදුහලට පමණක් නොව සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම අකිල දේශප්‍රිය සිසුවා අද දිනයේ විශාල අභිමානයක් එක් කර තිබේ.














