මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ මෙරට එළවළු සඳහා පවතින ඉල්ලුම සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව මැනිං වෙළෙඳපොළ වෙළෙඳ සංගමය පවසයි. ඉන්ධන මිල ඉහළ යෑම නිසා පොදු ප්‍රවාහන සේවා අඩාල වීම හේතුවෙන් පාරිභෝගිකයන්ට වෙළෙඳපොළ වෙත පැමිණීමට නොහැකි වීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.
මැනිං වෙළෙඳපොළ වෙළෙඳ සංගමයේ හිටපු සභාපති එස්.එම්. උපසේන මහතා සඳහන් කළේ ප්‍රවාහන පද්ධතිය අඩපණ වීම නිසා දෛනික ආදායම් ලබන ජනතාවගේ ජීවනෝපාය මාර්ග ද ඇනහිට ඇති බවයි. ඉල්ලුම අඩුවීම නිසා එළවළු මිල ගණන් ද පහළ ගොස් ඇති අතර ගෝවා කිලෝවක් රුපියල් 100 දක්වාත්, බෝංචි සහ කැරට් රුපියල් 250 දක්වාත්, තක්කාලි කිලෝවක් රුපියල් 60 දක්වාත් අඩු වී තිබේ.
පවතින අර්බුදය තවදුරටත් පැවතුණහොත් බීජ සහ පොහොර හිඟයක් ඇති විය හැකි බැවින් ඉදිරියේදී ගොවීන් වගා කටයුතුවලින් ඉවත් වීමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දෙයි. එවැනි තත්ත්වයක් තුළ වෙළෙඳපොළේ එළවළු හිඟයක් ඇති වී තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවට වෙළෙඳුන් අනතුරු අඟවයි.














