ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ජාතික පුරවැසි ලේඛනය (NRC) ක්‍රියාත්මක කිරීමකින් තොරව සංගණනය පැවැත්වීමට එරෙහිව අද (මාර්තු 11) පැවැති විරෝධතාවක් අතරතුර පොලිසිය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා තිබේ. ‘සාධාරණ සීමා නීර්ණය’ (Just Fair Delimitation – JFD) නැමැති සංවිධානය යටතේ රැස්වූ සිය ගණනක පිරිසක් මනිපූර් ව්‍යවස්ථාදායක සභාව දෙසට පාගමනින් ගමන් කරමින් සිටියදී මෙම ගැටුම හටගෙන ඇත.
නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වූවන් හඳුනාගැනීමකින් තොරව සංගණනයක් පැවැත්වීම ප්‍රාන්තයේ ජන සංයුතියට හානිකර බව විරෝධතාකරුවන්ගේ තර්කය වී තිබේ. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර, ඉන් සුළු තුවාල ලැබූවන් ප්‍රථමාධාර ලබාදීමෙන් පසු මුදාහැර ඇත. ප්‍රාන්තය තුළ සාමය ස්ථාපිත කර අවතැන් වූවන් නැවත පදිංචි කරන තෙක් මෙම සංගණනය කල් දැමිය යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන් ද ව්‍යවස්ථාදායක සභාව තුළ හඬ නගා තිබේ.
කෙසේ වෙතත්, සංගණන කටයුතු ආරම්භ කිරීමට පෙර සම්පූර්ණ කළ යුතු මූලික පියවර රැසක් පවතින බැවින් ඒ සඳහා තවත් කාලයක් ගතවනු ඇති බව මනිපූර් මහ ඇමති වයි. ඛේම්චන්ඩ් (Y Khemchand) සභාවට දැනුම් දුන්නේය. පසුගිය කාලය පුරා මනිපූර් ප්‍රාන්තයේ පවතින වාර්ගික නොසන්සුන්තාව හමුවේ මෙවැනි දේශපාලනික සහ පරිපාලනමය තීරණ කෙරෙහි ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවේ.














