මන්නාරම උප පොළේ සිට මුල්ලිකුලම් එකතු කිරීමේ උප පොළ දක්වා කිලෝමීටර් 28ක දිගින් යුත් 220kV ද්විත්ව පරිපථ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මුල්ලිකුලම් සුළං විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ 0 වන කාණ්ඩය (Lot 0) යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීම් හරහා ලංසුකරුවන් පස්දෙනෙකු ඉදිරිපත් වී සිටියහ.
ඉදිරිපත් වූ ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත අවම ලංසුව ඉදිරිපත් කළ ඉන්දියාවේ Jyoti Structure Limited (JSL) සහ ශ්‍රී ලංකාවේ Hayleys Fentons Limited ඒකාබද්ධ ව්‍යාපාරය වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර ඇත. විදුලිබල අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව අදාළ කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් මිලියන 2,269.18ක් (බදු රහිත) ලෙස සටහන් වේ. මෙම ව්‍යාපෘතිය හරහා මන්නාරම ප්‍රදේශයේ උත්පාදනය කෙරෙන පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමේ හැකියාව තවදුරටත් පුළුල් වනු ඇත.













