මන්නාරම, වංකාලයි මුහුදු ප්‍රදේශයේ බලපත්‍ර රහිතව සහ නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදෙමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන තිබේ. උතුරු මැද නාවික විධානයට අයත් ‘ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව’ ආයතනය මඟින් පසුගිය 27 වනදා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව අද (30) තහවුරු කළේය.
මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබූ මුහුදු කූඩැල්ලන් 349ක් සහ ඔවුන් භාවිත කළ කිමිදුම් උපකරණ තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 26ත් 40ත් අතර පසුවන වංකාලයි ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. ඉදිරි නීතිමය කටයුතු සඳහා සැකකරුවන් සහ අදාළ භාණ්ඩ තොගය මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.















