පසුගිය අරගල සමයේ විවිධ උද්ඝෝෂණ හා සිදුවීම් පාදක කරගනිමින් දහස් සංඛ්‍යාත පිරිසකට එරෙහිව පවරා ඇති නඩු සම්බන්ධයෙන් රජය සතු වගකීම ඉටු කරන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපතිවරයා අතීතයේ අරගල භූමියට පැමිණ, “ඔයාලත් එක්ක අපි ඉන්නවා” යනුවෙන් ලබාදුන් පොරොන්දුව සිහිපත් කරමින්, මෙම නීතිමය ගැටලු විසඳීම සඳහා වූ විශේෂ යෝජනාවලියක් ද ඔහු ඉදිරිපත් කළේය.
විශේෂයෙන්ම මරණ දඬුවම නියම වූ පුද්ගලයන් 12 දෙනා වෙනුවෙන් ඉදිරියේදී නොමිලේ අභියාචනා (Appeal) ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැවසූ නානායක්කාර මහතා, ගාලු මුවදොර අරගලයට අදාළ නඩු 32ක් ඇතුළු දිවයින පුරා පවරා ඇති නඩු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. පොලිස් රාජකාරියට බාධා කිරීම වැනි චෝදනා යටතේ පවරා ඇති නඩු ‘පොදු මහජන කැළඹීමක්’ යන පදනම මත ඉවත් කර ගැනීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවත්, ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ලැයිස්තු අනුව නඩුවලට පටලවා ඇති 2500කට අධික තරුණ තරුණියන්ගේ විදේශ ගමන් තහනම් සහ රැකියා බාධා ඉවත් කිරීමට මැදිහත් විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
සාධාරණ නීතිමය ක්‍රියාවලියක් සඳහා නානායක්කාර මහතා යෝජනා කරන්නේ, ‘නීති විරෝධී රැස්වීම්’ සහ ‘පොදු චේතනාව’ යන චෝදනා ඉවත් කර, සාමාන්‍ය උද්ඝෝෂකයන් නිදහස් කළ යුතු බවයි. ඉන් අනතුරුව ගිනි තැබීම් හෝ දේපළ විනාශ කිරීම් වැනි සැබෑ අපරාධ සිදුවූ ස්ථානවල (Crime Scenes) සාක්ෂි පවතින පුද්ගලයන් සම්බන්ධයෙන් පමණක් සාක්ෂි සමාලෝචනය කර නඩු කඩිනමින් විභාග කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. පවතින ක්‍රමවේදයේ වෙනසක් සඳහා පාරට බැස අරගල කළ තරුණ පිරිස සම්බන්ධයෙන් රජය සාධනීය මැදිහත්වීමක් සිදු කිරීම යුතුකමක් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














