සත්ත්ව ලෝකය සහ මිනිසා අතර පවතින අකලංක බැඳීම විදහා දක්වන අපූරු පුවතක් කළුතර විද්‍යාලයෙන් වාර්තා වේ. ඒ, එම විද්‍යාලයේ බටහිර තුර්යවාදක කණ්ඩායම පුහුණුවීම් කරන විට සහ සංදර්ශන පවත්වන විට ඔවුන් සමඟ එක්වී “ගායනා” කරන සහ සංදර්ශනයට එක්වන “මනුල’’ නම් සුනඛයා පිළිබඳවයි. කොවිඩ් වසංගත සමයෙන් පසුව පාසලට පැමිණි මෙම සුනඛයා, මේ වන විට පාසල් දරුවන්ගේත් ගුරු මණ්ඩලයේත් නොමඳ ආදරයට පාත්‍ර වී සිටියි.
තුර්යවාදක කණ්ඩායම භාර ඉෂාරා ධනංජලී ගුරුතුමිය පවසන පරිදි, මනුල සංගීතයට දක්වන්නේ පුදුමාකාර ලැදියාවකි. තුර්යවාදක කණ්ඩායම වාදනය ආරම්භ කළ සැණින් කොහේ සිටියත් දුව එන මනුල, සංගීත රිද්මයට අනුව හඬ නගමින් ඔවුන් සමඟ එක්වෙයි. මෑතකදී පැවති කළුතර විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවයේදී තුර්යවාදක කණ්ඩායමේ නිල වර්ණයෙන් යුතු “බෝ” එකක් ද පැළඳ, කණ්ඩායමේ නායකයෙකු මෙන් අභිමානයෙන් පිටිය මැද සංදර්ශනයට එක්වන මනුලගේ දසුන් සමාජ මාධ්‍ය හරහා ද ඉමහත් ප්‍රසිද්ධියට පත් විය.
මනුල දරුවන් කෙරෙහි දක්වන ආරක්ෂාකාරී බව සහ ලෙන්ගතුකම ද සුවිශේෂී වේ. රාත්‍රී පුහුණුවීම් නිම වී නිවෙස් බලා යන දරුවන් බස් රථයට නංවාලීමට තරම් ඔහු බුද්ධිමත් බව ගුරුවරු පවසති. පාසලේ විදුහල්පති පබසර බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මනුලගේ සෞඛ්‍ය සහ ආහාර පාන පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාර්ගයෙන් ඔහුට අවශ්‍ය එන්නත් ලබා දී සුරක්ෂිත කර තිබේ. සත්ත්වයින් කෙරෙහි කරුණාව දැක්වීමේ උතුම් ගුණය ප්‍රායෝගිකව පසක් කරන මනුල, අද වන විට කළුතර විද්‍යාලයේ නොනිල සාමාජිකයෙකු බවට පත්ව සිටියි.














