සෞභාග්‍යයේ හා සංවර්ධනයේ නාමයෙන් අද රට තුළ සිදුවන දැවැන්ත ජාතික මංකොල්ලයක් ක්‍රියාත්මක කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මුළු රටම එක පැත්තකින් පාරිසරික කාන්තාරයක් බවට පත්වී, අනෙක් පැත්තෙන් ධනය නැති හිඟමනට වැටිච්ච, ධනය අහිමි දුගී මිනිසුන්ගේ කාන්තාරයක් බවට පත්ව ඇති බවයි.
වත්මන් ආණ්ඩුවේ මෙම දැවැන්ත දූෂිත ක්‍රියාවලිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
2020.12.16 වන දිනැති කැබිනට් පත්‍රිකාවක් මගින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විදුලි බලය නියාමනය කිරීමට තිබෙන මහජන උපයෝගීතා කොමිසම ඇතුළු ආයතන ගණනාවක් සම්බන්ධයෙන් යම් නිශ්චිත පියවර ගත යුතුය කියල කැබිනට් මණ්ඩලයට යෝජනා කරනවා. මීට පෙර ජනාධිපති ලේකම්වරයා නියෝගයක් දුන්න භාණ්ඩාගාර ලේකම්ට මෙම මහජන උපයෝගිතා කොමිසම වහල දාන්න කියල. නමුත් ඒව ජනාධිපති ලේකම්ට වහල දාන්න පුළුවන් ඒව නෙමෙයි. ඒක සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධී කටයුත්තක්. මොකද මහජන උපයෝගීතා කොමිසම 2002 පාර්ලිමේන්තුවේ ඇති කරන ලද පනතකින් තමයි ස්ථාපිත කරල තියෙන්නෙ. ඒක එහෙම ජනාධිපති ලේකම්ට වහන්න පුළුවන් එකක් නෙමෙයි.
මහජන උපයෝගීතා කොමිසම වසා දැමීමේ අරමුණින් යුතුව යැයි ප්‍රකාශ කරමින් මේ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරල තියෙනව කැබිනට් මණ්ඩලයට. හැබැයි මේ පත්‍රිකාව කියෝගෙන යනකොට මේකෙන් ඉල්ලල තියෙන්නෙ මහජන උපයෝගීතා කොමිසම ගැන විතරක් වුණාට තවත් ආයතන ගණනාවක් ගැන බොහොම පැහැදිළිව ප්‍රකාශ කරල තියෙනවා. එහි මෙසේ සඳහන්,
‘‘නියාමනය සඳහා විවිධ ආයතන රට තුළ ක්‍රියාත්මක වන බව පහත සඳහන් නියාමන අධිකාරි ලැයිස්තුව තුළින් පෙනේ.
ශ්‍රී ලංකා මහ බැංකුව – බැංකු හා මූල්‍ය සමාගම්, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව – රක්ෂණ සමාගම්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව – ප්‍රාග්ධන කොටස් වෙළෙඳපොළ, පරිසර අධිකාරිය – පරිසරය, සමාගම් රෙජිස්ට්‍රාර් – පුද්ගලික සමාගම්, පාරිභෝගික අධිකාරිය – පාරිභෝගික කටයුතු, ඖෂධ අධිකාරිය – ඖෂධ, විශ්වවිද්‍යාල කොමිෂන් සභාව – රජයේ විශ්වවිද්‍යාල, මහජන උපයෝගීතා කොමිෂන් සභාව – විදුලිය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව – විදුලි සංදේශ
මෙයට අමතරව තවත් විවිධ නියාමන ආයතන පවතින අතර මෙම ආයතන නියාමන ක්‍රියාවලිය තුළ ඒකාධිකාරී ආයතනවලට තරඟකාරී පරිසරයක් ඇති කර පාරිභෝගිකයන්ට තරඟකාරි මිළ හා ඉහළ ප්‍රමිතියකින් යුතු සේවා සැපයීමට අවශ්‍ය පියවර ගැනීම වෙනුවට එම සේවා සපයන ආයතන කළමණාකරණය හා පාලනය කිරීමේ තැන දක්වා සිය ක්‍රියාවලිය පුළුල් කර තිබීම ආර්ථික හා සමාජ සංවර්ධනයට ඉමහත් බාධාවක් වී ඇත’’
මේකෙන් කියන්නේ, ඉහත සඳහන් කරපු මහජන උපයෝගීතා කොමිසම ඇතුළු අනෙකුත් සියළුම නියාමන අධිකාරීන් තමන්ගේ නියාමන කටයුත්ත කරන්නෙ නැතිව ඒවායේ පාලනයට ඇඟිලි ගහනවා, ඒ නිසා රටේ දියුණුවට එය බාධාවක් කියන එක. ඒ අනුව ඔවුන් ඉල්ලල තියෙනවා පාරිභෝගික අධිකාරියයි, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයයි කියන දෙක සම්බන්ධයෙන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් නීතියක් ගේන්න කියල මේවා කිසියම් දුරකට අකර්මන්‍ය කිරීම සඳහා.
දැන් මොකක්ද මේ ආණ්ඩුවේ අභිලාෂය ? මම බොහොම පැහැදිළිව කියනවා, මේ මහජන උපයෝගීතා කොමිසම ඔය කියන ආකාරයට අහෝසි කිරීමට පනත් ගේන්න බැහැ. මොකද මේකත් එක්ක ගැට ගැසුණු සංකීර්ණ විධායක ක්‍රියාවලියක් තියෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය කෑලි හයකට කොටස් කළා. මේක නියාමනය කිරීමට තමයි මහජන උපයෝගීතා කොමිසම ගෙනාවෙ. ඒ වගේම 2009 මහින්ද රාජපක්ෂ මහත්තයගේ පාලන කාලයේම මුදල් ලේකම් හැටියට කටයුතු කරපු පී.බී. ජයසුන්දර මැතිතුමා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 180 ක ණයක් ගත්ත සම්ප්‍රේෂණ පද්ධති පුළුල් කරන්න. ඒ අවස්ථාවේ තමයි මේ විදුලිය පිළිබඳව මේ නියාමන අධිකාරියට බලය පැවරුවෙ. එතකොට දිගු කාලීන ජනන සැලැස්ම හා වෙනත් ආකාරයට යම් නියාමනයක් ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍යයි කියන එක කවදත් පිළිගත් දෙයක්. අධික ආකාරයේ තෙල් මිල, ඒ වගේම යහපාලන කාලෙත් සමහරු උත්සාහ කළා මුහුදේ ඉඳන් විදුලි දෙන ව්‍යාපෘති ගෙන එන්න. ඒවට කිසිම සම්ප්‍රේෂණ පහසුකමකින් තොරව කටයුතු කරපු අවස්ථාවේදීත් ඒවා වළක්වල රට බේරාගත්තේ ඒ උගුල්වලින් මහජන උපයෝගිතා කොමිසමයි.
මහජන උපයෝගිතා කොමිසමේ, එහි පත්වෙන නිලධාරීන්ගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් පසුගිය වකවානුව තුළ විදුලිබල ක්ෂේත්‍රයේ බලාගාර ඉදිකරන්න බැරි වුණේ මහජන උපයෝගිතා කොමිසම නිසානම් නෙමෙයි. විශේෂයෙන්ම 2016 දී ගෙනාව ද්‍රව වායුවලින් ක්‍රියාත්මකවෙන බලාගාරයක්. ඒ බලාගාරය පිළිබඳ ටෙන්ඩර් ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම අඩපණ කරල දුර්වල කරල ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඒ ක්‍රියාවලිය ගෙනගියේ අවුරුදු තුනක් තිස්සේ මහජන උපයෝගීතා කොමිසම නෙමෙයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉතා සුළු නිලධාරී කණ්ඩායමක් සහ විදුලිබල අමාත්‍යාංශයට අරක්ගෙන තිබෙන මේ විදුලි මාෆියාවේ කල්ලි කියන එක අපි බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා.
මේ උත්සාහය මොකක්ද ? මහජන උපයෝගිතා කොමිසමෙන් නතර වෙන්න නෙමෙයි මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්නෙ, මං බොහොම පැහැදිළිව කියනවා වෙන කිසිම දෙයක් සඳහා නෙමෙයි, පුත්තලමේ තවත් 300MW ක ගල් අඟුරු ඒකකයක් බලාගාරයේ දිගුවක් හැටියට හතරවෙනි පියවර හැටියට ගෙන එ්මටත්, ඒ වගේම පුත්තලම බලාගාරයේ විදුලිබල මණ්ඩලය සතු 900MW පුද්ගලික සමාගමකට පවරන ආකාරයේ ගිවිසුමකට ගමන් කිරීමටත් තමයි මේ. අපි දන්නව ඔය පුත්තලම බලාගාරයේ ඉතිහාස කතාව. මා විසින් ලියන ලද ‘බලය සහ බලය’ කෘතියේ ඒක තියෙනවා. ඒවායෙන් කප්පම් ගත්ත අය කව්ද කියලත්, ඒවයෙන් මේ රටේ ජනතාවට විඳින්න වෙච්ච වේදනාවත් අපි දන්නවා.
විශේෂයෙන්ම මේ රජය යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ පසුගිය වසරට වඩා 2020 වසරේ විදුලි පරිභෝජනය අඩුයි. මොකද මේ කෝවිඩ් වසංගතයත් එක්ක කර්මාන්ත ශාලා, රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන වසා දැමීම නිසා. ඒ වගේම ගල් අඟුරු බලාගාරයෙන් ලැබිච්ච දායකත්වය, ජල විදුලියෙන් ලැබිච්ච දායකත්වය ඉතා ඉහළයි. එහෙම තිබියදීත් මිලියන 40,000 ක පාඩුවක් වාර්තා කළා. අපි මේක සංසන්දනය කරන්න ඕන 2015 දි අපි එදා මිලියන 20,000 ක ලාභයක් මේ ආයතනයට ගෙනාපු හැටි. මේව මේ පාලකයන්ගේ දුර්වලතා, ආකාර්යක්ෂමතා සහ දූෂිත ගණුදෙනු නිසා සිදුවෙන දේවල්.
අද ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට තමන්ගේ වැටුප් පිළිබඳව වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන්නට සිදුවෙලා, මුළු විදුලිබල ක්‍රියාදාමයම අඩපණ වෙලා තියෙන වෙලාවේ ඒක තවත් දුර්වල කිරීමට ගත්ත උත්සාහයක් තමයි මේක. මේකට අපි ඉඩ දුන්නොත් මොකද වෙන්නේ ? තවත් අර පුත්තලමේ වැනි දූෂිත ගණුදෙනු වෙනව පමණක් නෙමෙයි, ඒව පරම්පරා ගණනකට විඳගන්න වෙනව. මේක මෙතැනින් නතර වෙන්නේ නෑ. අනිවාර්යෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය, ඒ වගේම කොටස් වෙළෙඳපොළ පාලනය කරන තැන්, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතැම් බැංකුවලට කරන ඒ නියාමනය, අපි දන්නව ඇතැම් බැංකු පුද්ගලයො මාරු කළා තමන්ට ඕන අයට ණය දුන්නේ නැති හින්ද. ඇතැම් ණය ගණුදෙනුවලට මහ බැංකුව විරුද්ධ වුණා. ඒ නිසා එවැනි මහ බැංකුවේ නිලධාරීන් මහ බැංකුව පාලනය කිරීමේ අවශ්‍යතාවය, ඒ වගේම අනෙකුත් නියාමන අධිකාරීන්වලට විදුලි සංදේශ නියාමන අධිකාරියට සහ අනෙකුත් තැන්වලට තමන්ගේ දූෂිත පාලනය ගෙනයාම සඳහා ඒ රාජ්‍ය ආයතනවල ගන්නා උත්සාහයක්.
මහජන උපයෝගීතා කොමිසම ඇද වැටුනොත් පාරිභෝගික අධිකාරිය, විදුලි සංදේශ ආයතනය පමණක් නෙමෙයි ශ්‍රී ලංකා මහ බැංකුවටත් ඒ අත තබනවා. ඒ නිසා මහජනයාගේ පැත්තෙන් දියුණු තත්ත්වයක් තමයි නියාමනයන් පැවැත්වීම. ඒ නියාමනයන් පවත්වා ගැනීම තවත් ශක්තිමත් කර ගැනීමටත්, ඒවා ස්වාධීන කරගැනීමටත් ඒවාට මහජනයාට වගකිව යුතු තැනට පත්කිරීමටත් අපි කැපවිය යුතු අවස්ථාවක් එනවා.
ඒ නිසා මේ සියලු නියාමන අධිකාරීවලට බැඳිච්ච පිරිස්වලින් අපි ඉල්ලා සිටිනවා සංවර්ධනයේ නාමයෙන්, සෞභාග්‍යයේ නාමයෙන් අද රට තුළ සිදුවන ජාතික මංකොල්ලයට මේ ආකාරයට නීතියෙන් තියෙන යම් යම් බාධාවල් අයින් කිරීම සඳහා දරන මේ උත්සාහයේ කෙලවර වෙන්නෙ මේ මුළු රටම එක පැත්තකින් පාරිසරික කාන්තාරයක් වෙලා. අනෙක් පැත්තෙන් ධනය නැති හිඟමනට වැටිච්ච, ධනය අහිමි දුගී මිනිසුන්ගේ කාන්තාරයක් බවට පරිවර්තනය වෙලා. රට, ලෝකය බංකොලොත් වෙලා.
ඒ නිසා මතු පරපුර වෙනුවෙන් එයට එරෙහිව, රැහැනිව අපි වහ වහාම දැන උගත් මිනිස්සුත්, නොදැන ඉන්න මිනිස්සුත් සියළු දෙනාම කටයුතු කළ යුතුයි. මහජන උපයෝගිතා කොමිසමත්, පාරිභෝගික අධිකාරියත්, මධ්‍යම පරිසර අධිකාරියත්, ශ්‍රී ලංකා මහ බැංකුවත්, විදුලි සංදේශ නියාමන කොමිසමත්, කොටස් වෙළෙඳපොළ තුළ සුරැකුම් මධ්‍යස්ථානයත්, රක්ෂණ සංස්ථා පාලනය කිරීමේ ආයතනත් මතු පරපුර වෙනුවෙන් රැක ගැනීමට පෙරට එන්න කියල අපි ඔබ හැමගෙන් ඉල්ලනවා.