27 April 2024
#දේශීය

මාතලේ පොහොර සියයට සියක් බෙදා අවසන් බව දිසාපති කියයි

මෙවර යල කන්නයේ මාතලේ දිස්ත්‍රික්කයේ කාබනික පොහොර අවශ්‍යතාව සියයට සියයක්ම සම්පූර්ණ කොට ඇති බව මාතලේ දිස්ත්‍රික් පොහොර මෙහෙයුම් කමිටුවේ සභාපති මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මිය පැවසූවාය.

ඒ අනුව දිස්ත්‍රික්කයට අවශ්‍ය කාබනික දියර සහ ජෛව පොහොර අවශ්‍යතාව 100 % ක් සම්පූර්ණ කොට ඇති අතර එය ලීටර් 305527 ක් වශයෙන් ද කාබනික ගණ පොහොර අවශ්‍යතාව 100% ක් ලෙස සම්පූර්ණ කොට ඇති අතර එය මෙට්ට්‍රික් ටොන් 6879 බවත් දිස්ත්‍රික් ලේකම්වරිය පැවසූවාය.

මෙවර යල කන්නයේ දිස්ත්‍රික්කයේ වගා ඉලක්කය හෙක්ටයාර් 17458 ක් වන අතර ගොවීන්ගේ පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කොට ඇති බැවින් අපේක්ෂිත වගා ඉලක්ක සපුරාගත හැකි යැයි තමා විශ්වාස කරන බව ද ඒ මහත්මිය පැවසූවාය.

මෙවර යල කන්නයේ දිස්ත්‍රික්කයේ කාබනික පොහොර අවශ්‍යතාව සපුරා ගැනීමේ දී, දිස්ත්‍රික් පොහොර මෙහෙයුම් කමිටුවේ මෙහෙයවීම යටතේ ජාතික පොහොර ලේකම් කාර්යාලය , හරිත කෘෂිකර්ම ක්‍රියාන්විතය, සහ ගොවිජන සේවා දිස්ත්‍රික් කාර්යාලය සහ පොහොර සමාගම්වල ඉහළ දායකත්වයක් ලැබීම අගය කරන බව ද ඇය සදහන් කළාය.

මේ අනුව හදුන්ගමුව හුණුකැට ඇල, පල්ලේපොල, ගලේවෙල, කිඹිස්ස, ලග්ගල, දඹුල්ල, අළුගොල්ල, කෝන්ගහවෙල, වාසලකෝට්ටේ, දේවහුව, හත්තොට අමුණ, බණ්ඩාරපොල, රත්තොට, තැන්න, වේරගම, ඇල්කඩුව, යටවත්ත, උකුවෙල, වාලවෙල, පළාපත්වල, හෙට්ටිපොල, හදුන්ගෙමුව, යන ගොවි ජන සේවා මධ්‍යස්ථාන 23 ක් මගින් ගොවීන් වෙත පොහොර නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සරත් විජේකෝන් මහතා පැවසීය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *