මාතර මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඇතිවිය හැකි ඩෙංගු වසංගත අවදානම පාලනය කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති සහ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙහිදී මදුරු කීටයන් වර්ධනය විය හැකි සියලු ස්ථාන පිරිසිදු කිරීමටත් නියෝග නොපිළිපදින පුද්ගලික හෝ රාජ්‍ය ආයතනවලට කිසිදු භේදයකින් තොරව නඩු පැවරීමටත් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ආරක්ෂක අංශ එක්ව පුද්ගලික ඉඩම් සහ ආයතනික පරිශ්‍ර දැඩි නිරීක්ෂණයට ලක් කිරීමටත් ජලය රැඳෙන ස්ථාන ඉවත් කිරීමට ලබාදෙන නියෝග කඩකරන ඕනෑම පාර්ශවයකට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී තීරණය කෙරුණා.
අප්‍රේල් 1 වැනිදාට යෙදෙන මැදින් පුර පසළොස්වක පොහොය දින දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව එක්ව ආගමික හා පොදු ස්ථාන පිරිසිදු කිරීමේ විශේෂ ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කිරීමට ද මෙහිදී සැලසුම් කර තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය, මාතර නගරාධිපති නීතීඥ ජයන්ත පතිරණ මහතා සහ දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. මාතර නගරයේ පිරිසිදුකම පවත්වා ගනිමින් ඩෙංගු උවදුර පාලනය කිරීමට මහජනතාවගේ උපරිම සහයෝගය ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.














