පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි. ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක් වුවහොත් ජල සැපයුමට බාධා එල්ල විය හැකි බැවින් පවතින ජල ධාරිතාවය ඉතාම සැලකිලිමත් ලෙස පරිහරණය කිරීම අත්‍යවශ්‍ය බව එම මණ්ඩලය අවධාරණය කරයි. අඹතලේ ඇතුළු ප්‍රධාන ජල පවිත්‍රාගාරවල නිෂ්පාදන ධාරිතාවයට මෙතෙක් සෘජු බලපෑමක් එල්ල වී නොමැති වුවද උස්බිම් ප්‍රදේශ සඳහා ජලය නිකුත් කිරීමේදී මේ වන විට අඩු පීඩන තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසන්නේ අඩු පීඩනයක් යටතේ ජලය ලැබෙන ප්‍රදේශ සඳහා මේ වන විට බවුසර් රථ යොදා ගනිමින් ජලය බෙදාහැරීමට පියවර ගෙන ඇති බවයි. ඉදිරි දිනවලදී වැසි බලාපොරොත්තු වන නමුත් පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට මහජන සහයෝගය අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම ගෙවතු පිරිසිදු කිරීම, වාහන සේදීම වැනි අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජල නල භාවිතය සීමා කරන ලෙස ද බලධාරීන් දැනුම් දෙයි.














