මාතර සමුපකාර රෝහලට එල්ල වන දේශපාලන බලපෑම් වහාම නතර කරන ලෙස බලකරමින් එහි සේවක සේවිකාවන් අද (02) උදෑසන සිට ආරම්භ කළ වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණයක් හේතුවෙන් රෝහල් පරිශ්‍රයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තේය. රෝහලේ සභාපති ධුරය සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන නෛතික හා පරිපාලනමය ගැටලු මෙම විරෝධතාවයට මූලික හේතුව වී තිබේ.
සාමාජික ඡන්දයෙන් තේරී පත් වූ සභාපති චමින්ද ගුණසේකර මහතා ඇතුළු පාලක මණ්ඩලය සහ දකුණු පළාත් සමුපකාර කොමසාරිස්වරිය විසින් අලුතින් පත් කරන ලද ඒ.ඒ.ඩී. අමින්ද මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අතර පවතින බල අරගලය විසඳීම සඳහා අද පැවැත්වූ සාකච්ඡාව ද එකඟතාවයකින් තොරව අවසන් විය. දකුණු පළාත් සමුපකාර කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පැය 5කට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්විණි.
නව පාලක මණ්ඩලයට විරෝධය පළ කරමින් සේවක සේවිකාවන් රෝහල් පරිශ්‍රයේ රැඳී සිටිමින් සිය රාජකාරීවලින් ඉවත් වූ අතර, කොමසාරිස්වරිය විසින් පත් කරන ලද සභාපතිවරයා ඇතුළු පිරිස සාකච්ඡාවෙන් පසු පිටව යන අවස්ථාවේදී සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. මෙම අර්බුදය හේතුවෙන් රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර සේවාවලට ද යම් බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ.













