කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ප්‍රමුඛ පෙළේ සමාගමක් වන කලම්බු ඩොක්යාඩ් පීඑල්සී (Colombo Dockyard PLC) හි පාලන බලය සහිත බහුතර කොටස් හිමිකාරිත්වය අත්පත් කර ගැනීමට ඉන්දියාවේ ප්‍රබල නෞකා නිෂ්පාදන සමාගමක් වන මැසගොන් ඩොක් ලිමිටඩ් (Mazagon Dock Ltd) සමත්ව තිබේ. සමාගම නිකුත් කළ නවතම වාර්තාවන්ට අනුව, පසුගිය පෙබරවාරි 18 සිට මාර්තු 12 දක්වා ක්‍රියාත්මක වූ අනිවාර්ය මිලදී ගැනීමේ යෝජනාව (Mandatory Offer) හරහා මැසගොන් ඩොක් සමාගම සිය කොටස් ප්‍රතිශතය 51% දක්වා ඉහළ නංවාගෙන ඇත.
මෙම මිලදී ගැනීමේ ක්‍රියාවලියට පෙර මැසගොන් ඩොක් සමාගම සතුව පැවතියේ කලම්බු ඩොක්යාඩ් හි 41.73% ක කොටස් හිමිකාරිත්වයක් පමණි. එහෙත් අදාළ යෝජනාව ක්‍රියාත්මක වූ කාලසීමාව තුළදී අමතරව කොටස් 36,649,271ක් (9.27% ක ප්‍රතිශතයක්) අත්පත් කර ගැනීමට ඔවුන් සමත් විය. ඒ අනුව මේ වන විට ඉන්දීය සමාගම සතු සමස්ත කොටස් සංඛ්‍යාව 201,565,500ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඔවුන් නිල වශයෙන් සමාගමේ ප්‍රධාන පාලන හිමිකරුවා බවට පත්ව ඇත.
මෙම ආයෝජනය ශ්‍රී ලංකාවේ නාවික කර්මාන්තයට සහ නෞකා අළුත්වැඩියා කිරීමේ ක්ෂේත්‍රයට ඉන්දීය මැදිහත්වීම තවදුරටත් ශක්තිමත් කරන්නක් ලෙස ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මැසගොන් ඩොක් යනු ඉන්දීය රජය සතු ප්‍රමුඛ පෙළේ ආරක්ෂක සහ නාවික ඉංජිනේරු සමාගමක් වීම ද විශේෂත්වයකි.














