බෞද්ධ ජනතාව මහත් භක්තියෙන් සමරනු ලබන මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයට අනුව මෙම පොහෝ දිනය ශාසනික වශයෙන් අතිශය වැදගත් සිදුවීම් රැසකට මුල් වූ දිනයක් ලෙස සැලකේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව ප්‍රථම වතාවට සිය උපන් නගරය වූ කිඹුල්වත්පුරයට වැඩම කිරීම මෙදින සිදුවූ සුවිශේෂී සිදුවීමකි.
එම ගමනේදී සිදුවූ තවත් වැදගත් කරුණු අතර සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර සෝවාන් ඵලයට පත්වීම සහ නන්ද කුමරු සසුන්ගත වීම ප්‍රධාන තැනක් ගනී. මෙවැනි අනුස්මරණීය සිදුවීම් නිමිති කරගනිමින් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බැතිමතුන් අද දිනයේ ආගමික වතාවත්වල නිරත වනු ඇත.















