කොළඹ “රෝයල් මාක්ස් අරීනා” පරිශ්‍රයේ පැවති “රාජකීය අවුරුදු කුමරා කුමරිය” තේරීමේ උත්සවයකදී පිඹුරෙකු ගෙලේ පටලවාගෙන සත්වයාට හිංසා වන අයුරින් නර්තනයේ යෙදුණු බව කියන ‘මෙත්මී හිරන්‍යා’ නමැති තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න මහතා නියෝග කර තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පදනම් කරගනිමින් වනජීවී නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබූ අතර, ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නද සැකකාරිය එය මගහරිමින් සැඟව සිටින බව අධිකරණයට දැනුම් දී ඇත. මේ අතර, අදාළ උත්සවය සංවිධානය කළ ප්‍රකට නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ එම අවස්ථාව වීඩියෝ ගත කළ කැමරා ශිල්පියාට ද වනජීවී නිලධාරීන් හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙස අධිකරණය නියෝග කළේය. ලංකාවේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ මෙලෙස සතුන්ට හිංසා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.












