මහල් නිවාස සංකීර්ණවල පදිංචි අඩු ආදායම්ලාභී ජනතාවගේ දෛනික ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා රජය විසින් ‘Metro Uplift’ නමින් නව ජාතික වැඩසටහනක් හඳුන්වා දී ඇත. මෙහි සමාරම්භක පියවර එළැඹෙන මාර්තු 31 වනදා කොලොන්නාව, සාලමුල්ල ‘ලක්සද සෙවණ’ නිවාස සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිතය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා නිවාස සංකීර්ණවල භෞතික පහසුකම් මෙන්ම පදිංචිකරුවන්ගේ සමාජයීය තත්ත්වය ද ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන වෙන් කරමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ භෞතික සංවර්ධන අදියර යටතේ විදුලි සෝපාන අලුත්වැඩියාව, ගිනි නිවන පද්ධති නවීකරණය, ළමා උද්‍යාන වැඩිදියුණු කිරීම සහ කසළ කළමනාකරණය විධිමත් කිරීම වැනි අත්‍යවශ්‍ය කටයුතු රැසක් සිදු කෙරේ. මීට අමතරව, නිවාස සංකීර්ණවල ආරක්ෂාව සහ පදිංචිකරුවන්ගේ මානසික සුවතාවය තහවුරු කිරීම සඳහා ආරක්ෂිත වැටවල් ස්ථාපිත කිරීම සහ ගොඩනැගිලි තීන්ත ආලේප කර අලුත්වැඩියා කිරීම ද සිදු කිරීමට නියමිතය.
භෞතික සංවර්ධනයට අමතරව පදිංචි ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා කළමනාකරණ, මත් නිවාරණ, කාන්තා සහ තරුණ කමිටු වැනි විවිධ සංවිධාන ව්‍යුහයන් පිහිටුවීමට ද රජය සැලසුම් කර ඇත. මෙම වැඩසටහන පිළිබඳ ප්‍රජා කමිටු නායකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අවධාරණය කළේ, මහජන බදු මුදලින් සිදුකරන මෙම සංවර්ධන කටයුතු ආරක්ෂා කරගැනීමට ප්‍රජාව එක්විය යුතු බවයි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හා අපරාධවලින් දරුවන් ආරක්ෂා කරගනිමින්, යහපත් මහල් නිවාස සංස්කෘතියක් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ජාතික වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා පවතින අනෙකුත් සියලුම මහල් නිවාස සංකීර්ණ 27ක් කරා ද ව්‍යාප්ත කිරීමට රජය තීරණය කර ඇත. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මිය ඇතුළු විද්වතුන්ගේ සහාය ඇතිව, වසරක් පුරා ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කරමින් ඔවුන් නව ප්රවේශයකට යොමු කිරීම මෙම වැඩසටහනේ දිගුකාලීන අපේක්ෂාවයි.














