මහල් නිවාස සංකීර්ණවල පදිංචි අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති සුබසාධන වැඩපිළිවෙලෙහි තවත් තිරසර ඉදිරි පියවරක් ලෙස ‘Metro Uplift’ ජාතික වැඩසටහන කොලොන්නාව සාලමුල්ල ‘ලක්සඳ සෙවණ’ නිවාස සංකීර්ණයේ දී නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම සමාජ සුබසාධන ජාතික වැඩසටහන යටතේ 2026 වසර තුළදී ප්‍රතිසංවිධාන රැසක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර කොලොන්නාව ලක්සඳ සෙවණේ නවීකරණ කටයුතු වෙනුවෙන් පමණක් මේ වසරට රුපියල් ලක්ෂ 1,288.7ක මුදලක් වෙන්කර තිබෙනවා
මෙම ව්‍යාපෘතිය යටතේ හානි වූ විදුලි සෝපාන අලුත්වැඩියාව, අලුතින් විදුලි සෝපානයක් ස්ථාපිත කිරීම, හානියට පත් නිවාස ඒකක පිළිසකර කිරීම, ළමා උද්‍යානය වැඩිදියුණු කිරීම, කසල කළමනාකරණය විධිමත් කිරීම ඇතුළු භෞතික නවීකරණයන් රැසක් සිදු කෙරෙනවා. මීට සමගාමීව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක මහල් නිවාස සංකීර්ණ 24ක පදිංචිකරුවන්ගේ කායික හා මානසික සුවපහසුව ඇතිකිරීම සඳහා විශේෂ සමාජ සජීවීකරණ වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි














