දිගු කලක් මයිකල් ජැක්සන්ගේ සමීපතම හිතවතුන් ලෙස පෙනී සිටිමින් ඔහු ආරක්ෂා කළ කැසියෝ (Cascio) පවුලේ සහෝදර සහෝදරියන් සිවුදෙනෙකු, මියගිය සුපිරි තරුවට එරෙහිව ලිංගික ජාවාරම් සහ ළමා ලිංගික අපයෝජන චෝදනා එල්ල කරමින් කැලිෆෝනියාවේ නඩුවක් ගොනු කර තිබේ. එඩ්වඩ්, ඩොමිනික්, ඇල්ඩෝ සහ මාරි-නිකොල් පෝටේ යන අය පවසන්නේ තමන් වයස අවුරුදු 7-8 වැනි කුඩා අවදියේ සිට වසර ගණනාවක් පුරා ජැක්සන් අතින් අපයෝජනයට ලක්වූ බවයි. ඔහුගේ නෙවර්ලන්ඩ් (Neverland) රංචුවේදී මෙන්ම එලිසබෙත් ටේලර් සහ එල්ටන් ජෝන් වැනි ප්‍රකට පුද්ගලයන්ගේ විදේශීය නිවෙස්වලදී ද මෙම සිදුවීම් වූ බව ඔවුහු සිය පැමිණිල්ලේ සඳහන් කරති.
මෙම නඩුවේ වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ, 2019 වසරේ ‘Leaving Neverland’ වාර්තා චිත්‍රපටය නිකුත් වීමෙන් පසු, මෙම අපයෝජන රහසක් ලෙස තබා ගැනීම සඳහා ජැක්සන්ගේ දේපළ භාරකරුවන් (Jackson Estate) විසින් තමන්ට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 690,000 බැගින් වසර පහක් පුරා ගෙවීමට එකඟතාවක් ඉදිරිපත් කළ බවට කැසියෝ පවුල එල්ල කරන චෝදනාවයි. එමෙන්ම පසුව මෙම තොරතුරු ප්‍රසිද්ධ කිරීමට උත්සාහ කිරීමේදී තමන්ට තර්ජන එල්ල වූ බව ද ඔවුහු පවසති. කෙසේ වෙතත්, මයිකල් ජැක්සන්ගේ නීතිඥ පාර්ශවය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ මෙය ඔහුගේ දේපළවලින් මුදල් ලබා ගැනීම සඳහා හිතාමතා ගොතන ලද අසත්‍ය චෝදනා මාලාවක් බවයි.














