13 හැවිරිදි දැරියක වූ නසියා හැරිස් ඝාතනය කිරීම සහ තවත් බාලවයස්කාර දැරියන් පස් දෙනෙකුට ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර 35 සිට 60 දක්වා සිරදඬුවම් විඳිමින් සිටි 43 හැවිරිදි ජාවිස් බට්ස් මියගොස් සිටියදී හමුවී තිබේ. මිචිගන් (Michigan) හි ජැක්සන් බන්ධනාගාරයේ සිය සිරමැදිරිය තුළ ඔහු මියගොස් සිටිනු අද (2026 මාර්තු 27) පෙරවරුවේ බලධාරීන් විසින් සොයා ගන්නා ලදී.
මිචිගන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව (MDOC) ප්‍රකාශ කරන්නේ ඔහු සියදිවි නසාගෙන ඇති බවට සැක කරන බවයි. මියයාමට පෙර ඔහුගේ අවසන් වීඩියෝ දර්ශන ලෙස වාර්තා වන්නේ ඔහුට දඬුවම් නියම කළ අවස්ථාවේ අධිකරණයේදී ලබාගත් දර්ශනයි. පසුගිය පෙබරවාරි 12 වැනිදා ඔහු දෙවැනි පෙළ මිනීමැරුම් චෝදනාවට වරදකරු වූ අතර, නසියා හැරිස් ඝාතනයට අදාළව නිකුත් වූ අතිශය කම්පන සහගත තොරතුරු හමුවේ ඔහුට මෙම දැඩි සිරදඬුවම් නියම වී තිබුණි.
බාලවයස්කාර දැරියන් අපයෝජනය කිරීමේ චෝදනා පහක් සම්බන්ධයෙන් ද ඔහුට වසර 10 සිට 15 දක්වා අතිරේක සිරදඬුවම් නියම වී තිබූ බව ප්‍රාන්ත නීතිපති කාර්යාලය තහවුරු කරයි.















