මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ ඇති වී තිබෙන අර්බුදය හමුවේ ඇමරිකානු බලශක්ති සැපයුම සහ ඉන්ධන මිල ස්ථාවරව තබා ගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වසර 100කට වඩා පැරණි ‘ජෝන්ස් පනත’ (Jones Act) දින 60ක කාලසීමාවකට අත්හිටුවීමට තීරණය කර තිබේ. 1920 වසරේ හඳුන්වා දුන් මෙම පනතට අනුව ඇමරිකානු වරායන් දෙකක් අතර භාණ්ඩ ප්‍රවාහනය කරන ඕනෑම නෞකාවක් අනිවාර්යයෙන්ම ඇමරිකාව තුළ නිෂ්පාදනය කළ එකක් විය යුතු අතර එය ඇමරිකානු ධජය යටතේ ලියාපදිංචි වී ඇමරිකානු පුරවැසියන් සතු විය යුතුය. ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළට දිනකට තෙල් බැරල් මිලියන 7 සිට 10 දක්වා අහිමි වී ඇති අතර මෙම පනත තාවකාලිකව ඉවත් කිරීම මගින් විදේශීය නෞකාවලට ද ඇමරිකානු වරායන් අතර බොරතෙල්, ස්වාධීන වායු (LNG), පොහොර සහ ගල්අඟුරු ප්‍රවාහනය කිරීමට අවස්ථාව හිමි වේ. බොහෝ දෙනා මෙය 1920 දී හඳුන්වා දුන් එකක් ලෙස සැලකුවද එහි මූලධර්ම 1789 සහ 1817 වැනි ඈත අතීතයේ සිටම ඇමරිකානු නාවික ප්‍රතිපත්ති තුළ පැවති බැවින් මෙය සියවස් ගණනාවක් පුරා විකාශනය වූ නීතියක් ලෙස හැඳින්විය හැකිය. අර්බුදය පාලනය සඳහා ඇමරිකානු උපායමාර්ගික තෙල් සංචිතයෙන් බැරල් මිලියන 172ක් මුදා හැරීමටත් වෙනිසියුලාවට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමටත් ඇමරිකානු රජය පියවර ගෙන ඇත.














