මැදපෙරදිග යුදමය තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වීමත් සමඟ ඇති විය හැකි බලශක්ති කම්පනය (Energy Shock) පිළිබඳ බියෙන් ආසියානු වෙළෙඳපොළ අද (04) දින දැවැන්ත කඩා වැටීමකට ලක් විය. විශේෂයෙන්ම ඉන්ධන ආනයනය මත බෙහෙවින් යැපෙන දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල කොටස් වෙළෙඳපොළවල් සෘජු බලපෑමට ලක්ව තිබේ. දකුණු කොරියාවේ කොටස් වෙළෙඳපොළ 4% කින් පහත වැටුණු අතර කොරියානු වොන් (Won) මුදලේ අගය වසර 17කින් වාර්තා වූ අවම මට්ටමට ඇද වැටී ඇත. ජපානයේ නිකේ (Nikkei) දර්ශකය ද 2.5% ක පසුබෑමක් වාර්තා කර තිබේ.
අමෙරිකානු සහ ඉශ්‍රායල හමුදා පසුගිය දින හතර පුරා ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ගල්ෆ් කලාපයේ තෙල් පිරිපහදු මෙන්ම සෞදි අරාබියේ සහ කුවේටයේ අමෙරිකානු තානාපති කාර්යාල ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර මෙම අර්බුදයට මුල් වී ඇත. මේ හේතුවෙන් බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල මේ සතියේදී 12% කින් පමණ ඉහළ ගොස් බැරලයක් ඩොලර් 81.40 දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව සපයන බවට ජනපති ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ මිල ගණන් මදක් ස්ථාවර වීමට උත්සාහ කරමින් පවතී.
ආයෝජකයන් පවසන්නේ ඉන්ධන යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල වීම නිසා උද්ධමනය ඉහළ යාමේ සහ පොලී අනුපාත අඩු කිරීම ප්‍රමාද වීමේ දැඩි අවදානමක් පවතින බවයි. යුරෝපය බලශක්ති පිරිවැය ඉහළ යාමෙන් දැඩි ලෙස පීඩාවට පත් වනු ඇතැයි යන අපේක්ෂාව මත යුරෝවේ (Euro) අගය ද ඩොලර් 1.16 සීමාවට වඩා පහත වැටී තිබේ. ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වය රඳා පවතින බලශක්ති සැපයුම් දාමයන් යුද්ධය හේතුවෙන් අඩාල වීම හමුවේ ඉදිරි දින කිහිපය ගෝලීය වෙළෙඳපොළට අතිශය තීරණාත්මක වනු ඇත.














