ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් විනාශ වීමත් සමඟ සමස්ත ආසියානු කලාපයම දැවැන්ත ඉන්ධන අර්බුදයකට මැදිවී ඇති බව නවතම වාර්තා හෙළි කරයි. හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන ගෝලීය තෙල් ප්‍රවාහය අඩාල වීම හේතුවෙන් වියට්නාමය වැනි රටවල ඉතිරිව ඇත්තේ දින 20කට පමණක් සෑහෙන ඉන්ධන සංචිතයක් පමණක් බව මාධ්‍යවේදී මාරියෝ නව්ෆල් පෙන්වා දෙයි. බ්ලූම්බර්ග් (Bloomberg) වාර්තාවලට අනුව, ඉන්දියාවේ සිවිල් ජනතාවට ලබාදෙන ගෑස් (LPG) සැපයුම එරට හමුදා අවශ්‍යතා සඳහා යොමු කිරීම නිසා ආපනශාලා රැසක් වැසී ගොස් ඇති අතර, බංග්ලාදේශය තම ඉන්ධන පර්යන්ත ආරක්ෂා කිරීමට හමුදාව යොදවා තිබේ.
යුද්ධය ආරම්භ වී සති දෙකක් ගතවන විට ගුවන්යානා ඉන්ධන (Jet Fuel) මෙට්‍රික් ටොන්නයක මිල ඩොලර් 1,640 ඉක්මවා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව සහ නේපාලය වැනි රටවල් දැනටමත් ඉන්ධන සලාක ක්‍රම හඳුන්වා දී ඇති අතර, මෙම තත්ත්වය ආහාර සැපයුම් ජාල බිඳවැටීමට සහ උද්ධමනය ඉහළ යාමට සෘජුවම බලපානු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. ලෝක තෙල් වෙළඳපොළ යථා තත්ත්වයට පත්වීමට අවම වශයෙන් මාස හයක කාලයක් ගතවනු ඇති බව ඔවුන්ගේ මතයයි.














