මැදපෙරදිග මෙන්ම වෙනත් කලාපවලින් සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම, මෙම ප්‍රජාවන් අවදානමට ලක්වීමේ හැකියාව පිළිබඳව විමසා, විශේෂයෙන් සත්කාරක රටවල නීත්‍යානුකූලව රැඳී සිටීමේ අවස්ථාව සහ / හෝ සේවය කිරීමේ අවස්ථාව අහිමි වූ තැනැත්තන් පිළිබඳව සලකා, අඛණ්ඩව සිදුකරන බවට විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහතික කර තිබේ.
මෑතකදී කුවේට් රාජ්‍යයෙන් නැවත මෙරටට පැමිණි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ, සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත සැලකිය යුතු ලෙස දැනට එල්ල වී තිබෙන පීඩනය පිළිබඳව සැලකිල්ලට ගනිමින්, කොවිඩ් කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කර මෙම කාර්යය සිදු කෙරේ. අනාගතයේදී, සියලුම ගුවන් ගමන් වලට පෙර පීසීආර් (PCR) පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව විමර්ශනය කරන බව මෙහිදී සඳහන් කෙරිණි.
විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) සභාපති කමල් රත්වත්ත මහතා සහ අමාත්‍යාංශ දෙකෙහි හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද දින (2020 මැයි 29) සවස විදේශ අමාත්‍යංශයේදී පැවති රැස්වීමකදී, අමාත්‍යතුමා විසින් මෙම ප්‍රකාශයන් සිදු කරන ලදී.
නවතම යාවත්කාලීන තොරතුරු වලට අනුව, මැයි 27 දින වන විට රටවල් 123 කින් පුද්ගලයින් 42,522 ක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව සඳහන් කෙරිණි. මෙයින් 34,881 ක් සංක්‍රමණික ශ්‍රමිකයින් වන අතර, ඉන් 20,893 ක් මැද පෙරදිග ජීවත් වන අතර, කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් 4,961 ක් සහ සිසුන් 2,016 ක් ද ඒ අතර වේ.
කුවේට් රාජ්‍යයෙන් ආපසු මෙරටට ගෙන්වා ගත් තැනැත්තන් පිළිබඳ සළකා බලන විට, ආපසු පැමිණි 466 දෙනාගෙන් 379 දෙනෙකු පොදු සමා කාලයෙහි ප්‍රතිලාභ ලබා අප්‍රේල් 21 – 25 දක්වා කාලය තුළ කඳවුරුවල සිටි සහ නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂාවෙන් සිටි තැනැත්තන් බව නිරීක්ෂණය වේ. 87 දෙනෙක් කුවේට් රාජ්‍යයෙහි රැඳවුම් මධ්‍යස්ථාන සහ බන්ධනාගාරවල සිටි තැනැත්තන් වේ. ඔවුන් මැයි 19 වන දින ‘කුවේට් එයාර්වේස්’ට අයත් ගුවන් යානා දෙකකින් කුවේට් රාජ්‍යයෙන් පිටත්ව යාමට පෙර, කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්, 2020 මැයි 11 සහ 14 යන දිනැති රාජ්‍ය තාන්ත්‍රික සටහන් මගින්, නැවත මෙරටට ගෙන්වා ගන්නා පුද්ගලයින් සඳහා පීසීආර් (PCR) පරීක්ෂණ සිදු කරන ලෙස කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. කෙසේ වෙතත්, මෙය සිදු කළ නොහැකි බවත්, කොවිඩ් වෛරස රෝග ලක්ෂණ සහිත කිසිදු මගියෙකුට ගුවන් යානයට ඇතුළුවීමට අවස්ථාව ලබා නොදෙන බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත එහිී දන්වා ඇත. කුවේට් රාජ්‍යයෙන් පිටත්ව යන, වෙනත් රටවලින් පැමිණි කිසිවෙකු සඳහා පීසීආර් (PCR) පරීක්ෂණ සිදු කර නොමැති බවද එහිදී ප්‍රකාශ කර තිබුණි.
වර්තමානයේදී ඉහළම අවදානමට ලක්ව ඇත්තේ මාලදිවයින බවත්, එහිදී විශේෂයෙන් මාලදිවයින් රජය විසින් මාලේ අගනුවර තුළ රතු අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර ඇති අතර, විදේශීය රජයන්ගෙන් ඔවුන්ගේ පුරවැසියන් ඉවත් කර ගන්නා ලෙස පැහැදිලිවම ඉල්ලීමක් කර ඇති බවත් සඳහන් කරන ලදී. දැනට මාලදිවයිනෙන් නැවත මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ආසන්න වශයෙන් 7000 ක පමණ පිරිසක් රැඳී සිටින අතර, ඒ අතරින් 2000 කට ආසන්න සංඛ්‍යාවක් මාලේ අගනුවර රැඳී සිටියි. මැයි 14 වන දින, 284 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගෙන ඇති අතර, මාලේ අගනුවරට පිටත සිිටි හදිසි වෛද්‍ය තත්වයන් අවශ්‍ය වූ කිහිප දෙනෙකු එයින් ඉවත් කර ගැනීම විශේෂයෙන් ලබාගත් අනුමැතියක් යටතේ සිදු කරන ලදි. මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබදව මාල දිවයින් බලධාරීන් සමග සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී එම පිරිස් ශ්‍රී ලංකාවට පිටත් කර එවීමට පෙර, ශ්‍රී ලංකාව මගින් ලබා දුන් පීසීආර් (PCR) පරීක්ෂණ කට්ටල සහ වෛද්‍ය නිලධාරීන් භාවිතා කර එම පීසීආර් (PCR) පරීක්ෂණ සිදුකිරීමට මාලදිවයින් බලධාරීන් කැමැත්ත පළ කර ඇත.
කොවිඩ් කාර්ය සාධක බලකායේ ඉල්ලීම පරිදි, මැදපෙරදිග සහ නැවත ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සැලසුම් කර ඇති අනෙකුත් අගනගරයන්හි කාර්යාල සම්බන්ධ කර ගනිමින් ගුවන් ගමන් ආරම්භයට පෙර පීසීආර් (PCR) පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද විදේශ සබඳතා අමාත්‍යාංශය කරුණු විමසා බලා තිබේ. නමුත් මේ වන විට එම බොහෝ ස්ථානවල පවතින සීමිත පහසුකම් හේතුවෙන් පීසීආර් (PCR) පරීක්ෂාව සිදු කර ගැනීමේ අවස්ථාව හිමිව ඇත්තේ බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරන තැනැත්තන්හට පමණි.
හාලි ඇල, තංගල්ල, දඹුල්ල සහ පොලොන්නරුව පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පුහුණු මධ්‍යස්ථාන හතරක්, නිරෝධායන කටයුතු සඳහා වන වර්තමාන ධාරිතාවය ඉහළ නැංවීම සඳහා කොවිඩ් කාර්ය සාධක බලකාය වෙත ලබා දී ඇති බව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම රැස්වීමේදී දන්වා සිටින ලදී.
විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශ සංක්‍රමණික ප්‍රජාවන්ට වියළි සලාක සහ ඖෂධ ලබා දීමෙන් සහ ඔවුන් රැඳී සිටින ස්ථානයන්හි හදිසි වෛද්‍ය තත්වයන් සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන අතරම, නැවත මෙරටට පැමිණීමට අපේක්ෂා කරන තැනැත්තන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසනු ඇත.
මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රමුඛතාවය මෙම පිරිස් ලක්ව ඇති අවධානම් සහගත ස්වාභවය අනුව සිදුවන බව නැවත අවධාරණය කළ අතර එම ප්‍රමුඛතාවය වරින් වර වෙනස් විය හැකි බව ද සදහන් කළේය. ආරම්භයේදී ශිෂ්‍යයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සිදු කළ අතර මේ වන විට තානාපති කාර්යාල වෙත මෙරටට පැමිණීමට සිය මනාපය පලකර ලියා පදිංචි වූ සිසුන්, කෙටිකාලීන සංචාරකයින් සහ සංක්‍රමණික ශ්‍රමිකයින් යනාදී විවිධ කාණ්ඩයන් සඳහා අදාළ දූත මණ්ඩල විසින් කාලානුක්‍රමික පිළිවෙල දැඩි ලෙස අනුගමනය කර මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සිදු කරනු ලබයි. මාලදිවයින හැරුණු විට මාලේ අගනුවර මෙන්ම අවධානමට ලක්විය හැකි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් ක්‍රියාත්මක වන අනෙකුත් ස්ථාන 15ට අදාළව සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමේ දී ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ කවරකුට ද යන්න අදාල තානාපති කාර්යාල ප්‍රධානියා විසින් එම කාර්යාලයන්හි සේවය කරනු ලබන විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිළධාරීන් සමග සාකච්ඡා කොට සිදු කරයි. රට තුළ නීත්‍යානුකූලව රැඳී සිටීමේ අවස්ථාව හෝ සේවය කිරීමේ අවස්ථාව අහිමි වූ තැනැත්තන්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ. මෙයට අමතරව, ලේඛනමය සාක්ෂි සහිත වෛද්‍යමය හදිසි තත්වයන් විශේෂ අවස්ථා ලෙස සලකා නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරනු ලැබේ. මෙම ක්‍රියා පටිපාටීන් දැඩි ලෙස පිළිපැදීමට දූත මණ්ඩලවලට උපදෙස් ලබා දී ඇත.
විදේශ සබඳතා අමාත්‍යාංශය