තමන්ගේම නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් රජය මගින් ලබා දෙන රුපියල් ලක්ෂ 10 ක මුදල ආපසු ගෙවිය යුතු ණයක් නොව පූර්ණ ආධාර මුදලක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන යටතේ පවුල් 125ක් වෙත චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයට ඊයේ (25) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් රුපියල් මිලියන 694 ක ආයෝජනයකින් නව නිවාස 694 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. 2026 වසර අවසන් වන විට දිවයින පුරා විසිරී ඇති ග්‍රාම නිලධාරී වසම් 14,016 ම ආවරණය වන පරිදි නිවාස 9,700 ක් ඉදිකිරීම රජයේ ජාතික ඉලක්කය වන අතර ඒ සඳහා රුපියල් මිලියන 9,700 ක් වෙන් කර තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ නිවාස සංවර්ධන අධිකාරියේ නිල සැලසුමට අනුව මෙම නිවාස ඉදිකළ යුතු බවත්, මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කළ යුතු බවත්ය. නිවාස අවශ්‍යතාව සැබවින්ම පවතින සුදුසුම පවුල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විනිවිදභාවයකින් යුතුව තෝරාගත් බවද ඔහු මෙහිදී පැවසීය. මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














