8 September 2024
#දේශීය

විවාහ මංගල්‍ය සැපයුම්කරුවන්ගේ ගැටලූවලට ඇමති විමල්ගෙන් විසදුම්

ශ‍්‍රී ලංකා පුරා විසිරි සිටින විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ( NEDA) යටතේ ලියාපදිංචි කර ඔවුන්ට ව්‍යවසායකයන් ලෙස නිසි පිළිගැනීමක් ලබා දෙමින් එම වෘත්තීමය ක්ෂේත‍්‍රයේ ගැටලූ රැසකට විසඳුම් ලබා දීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන තිබේ.

පසුගිය 15 වනදා අමාත්‍යාංශයේ දී විවාහ මංගල්‍ය සැපයුම්කරුවන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබේ.

දිවයින පුරා විසිරී සිටින මල් සැකසුම්කරුවන්, මංගල කාඞ්පත් සකසන්නන්, මනමාලියන් හැඩගන්වන්නන්, මංගල ඡායාරූප ශිල්පීන් ඇතුළු විවිධ අංග ගණනාවක ශිල්පීන්ගේ එකතුවෙන් මෙම විවාහ මංගල්‍ය සැපයුම්කරුවන්ගේ සංගමය බිහිව ඇති බවත් එයට මෙවැනි පිළිගැනීමක් ලබාදී රාජ්‍යයාන්ත‍්‍රණය සමග සම්බන්ධ කරවීම ඉමහත් ලෙස අගය කරන බවත් එම සංගමයේ සභාපති යොවුන්මා බණ්ඩාර මහතා පැවසී ය.

ඉහත ශිල්පීන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කොට ඔවුන්ට තම ව්‍යවසායන් සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස්, තාක්ෂණික සහාය, ව්‍යාපාරික අවස්ථාවන් හා ණය සහන පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයාගෙන් තමාට උපදෙස් ලැබුණු බවත් ඒ කටයුතු ලබන සතිය තුළ ආරම්භ කරන බවත් එම අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා විවාහ මංගල්‍ය සැපයුම්කරුවන්ගේ සංගමයේ ලේකම් නිෂී හඳුන්නෙත්ති මහත්මිය ඇතුළු එහි විධායක සභිකයෝ පිරිසක් ද එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *