අමෙරිකා-ඉරාන ගැටුම මධ්‍යයේ ඕමාන් බොක්කේ (Gulf of Oman) යාත්‍රා කරමින් තිබූ ‘MKD VYOM’ නමැති තෙල් ප්‍රවාහන නෞකාවකට එල්ල වූ පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යාත්‍රා ප්‍රහාරයකින් ඉන්දීය ජාතික නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙය වත්මන් ගැටුම් මාලාව තුළ වාර්තා වූ පළමු ඉන්දීය සිවිල් මරණය ලෙස සැලකේ.
මාෂල් දූපත් රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාව ඕමානයේ මස්කට් අගනුවරට ඔබ්බෙන් වූ මුහුදේදී ඊයේ (01) ප්‍රහාරයට ලක්ව ඇත. නෞකාවේ එන්ජින් කාමරය තුළ සිටි ඉන්දීය ජාතික නාවිකයා එම අවස්ථාවේදී ඇති වූ පිපිරීමෙන් සහ ගින්නෙන් මියගොස් ඇති බව නෞකාව කළමනාකරණය කරන ‘V.Ships’ ආයතනය තහවුරු කරයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන නෞකාවලට ඉරානය විසින් දිගින් දිගටම තර්ජන එල්ල කරමින් සිටින පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. අමෙරිකානු සහ ඊශ්‍රායල ආක්‍රමණවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉරානය විසින් මෙලෙස විවිධ ප්‍රහාර දියත් කරන බවට විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් නිල වශයෙන් භාරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














