පසුගිය පෙබරවාරි 28 වැනිදා එල්ල වූ ප්‍රහාරවලින් අභාවප්‍රාප්ත වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔහුගේ දෙවැනි පුත්‍රයා වන මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei) පත්වීමට සූදානම් වුවද, තම පුත්‍රයා එම තනතුරට පත් නොකරන ලෙස අලි කමේනි සිය අන්තිම කැමැති පත්‍රයේ සඳහන් කර තිබූ බවට වාර්තා පළ වේ. ඉරාන බුද්ධි අංශ සමඟ සබඳතා පවත්වන විපක්ෂ කණ්ඩායම් උපුටා දක්වමින් ‘New York Post’ පුවත්පත වාර්තා කරන්නේ, මොජ්ටාබා තම අනුප්‍රාප්තිකයා ලෙස නම් නොකරන ලෙස අලි කමේනි එහි පැහැදිලිවම ඉල්ලා තිබූ බවයි.
කෙසේ වෙතත්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) සහාය මොජ්ටාබා වෙත හිමිව ඇති අතර, ඔවුන් ඔහුව දකින්නේ සිය පියාට වඩා නම්‍යශීලී නායකයෙකු ලෙසයි. විවේචකයින් පවසන්නේ මොජ්ටාබා යනු තම පියාගේ නාමය මත පමණක් යැපෙන අයෙකු බවත්, ඔහුට ස්වාධීන දේශපාලන පදනමක් නොමැති බවත්ය. කමේනිගේ අභාවයෙන් පසු ඉරානය තුළ ඇති වී තිබෙන මෙම දේශපාලන අස්ථාවරත්වය සහ බල අරගලය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානය යොමු වී තිබේ.














