මොරටුව, විල්ලෝරාවත්ත ප්‍රදේශයේදී ඉකුත් මාර්තු 03 වැනිදා පුද්ගලයෙකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු පිටකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කුඩු ශම්මි’, ‘ටුටූ’ සහ ‘හංස’ යන අන්වර්ථ නාමවලින් හඳුන්වන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකි. ඝාතනයට ලක් වූ පුද්ගලයා අද (12) දින සිය විවාහ මංගල්‍යය ගැනීමට නියමිතව සිටි අයෙකු වීම මෙම ඛේදවාචකයේ ඇති වඩාත් සංවේදී කරුණයි.
පොලිස් විමර්ශනවලට අනුව, සිද්ධිය වූ දින සවස මියගිය පුද්ගලයා සිය පෙම්වතිය සහ මව සමඟ නිවසේ රැඳී සිටියදී මිතුරෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකට අනුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ වසා දමා ඇති හෝටලයක් අසලට සිය ත්‍රීරෝද රථයෙන් ගොස් තිබේ. එහිදී සැකකරුවන් විසින් ඔහුට පහර දී, බෙල්ලට පුඩුවක් දමා සිරකර කඩු හා මන්නා පිහිවලින් කොටා ඝාතනය කර ඇත. අනතුරුව ලේ තැවරුණු මළසිරුර පොකුණක බහා සෝදා, ඝාතනය කළ ස්ථානය ද පිරිසිදු කර ඇති බව සැකකරුවන් පාපොච්චාරණය කර තිබේ.
ඝාතනයෙන් පසු මළසිරුර මුහුදට දැමීමේ අරමුණින් මියගිය පුද්ගලයාගේම ත්‍රීරෝද රථයේ දමාගෙන රැගෙන යන අතරතුර, ඉන්ධන අවසන් වීම නිසා එය පාසලක් ඉදිරිපිට නතර වී තිබේ. එහිදී සැකකරුවන් මළසිරුර රථය තුළම දමා පලා යන ආකාරය CCTV දර්ශන මගින් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති නිලන්ත ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ මෙම විමර්ශනයෙන් පසු සැකකරුවන් අද මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















