හදිසි නීතිය පනවනු ලබන්නේ ජනතා අයිතිවාසිකම් මර්දනය කිරීමට නොව, රටේ පොදු ජනතාවගේ ජීවිතවලට සුවිශේෂී තර්ජනයක් හෝ ව්‍යසනයක් පවතින අවස්ථාවක දෛනික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය අවධාරණය කරයි. පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව මහජන ආරක්ෂක පනත තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සහ එහි නෛතික පසුබිම පිළිබඳව සවිස්තරාත්මකව සඳහන්ව ඇති බවයි.
තම ආණ්ඩුව කිසිසේත්ම ජනතා අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහා හදිසි නීතිය භාවිත නොකරන බව සහතික කළ මන්ත්‍රීවරිය, හදිසි නීතිය සැමවිටම කළු පැල්ලමක් ලෙස නොදැක එහි පවතින යහපත් පැත්ත දකින ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියාය. රටේ ඇතැම් මූලික අවශ්‍යතා සීමා කිරීමට සිදුවන්නේ ව්‍යසන අවස්ථාවකදී වුවද අත්‍යවශ්‍ය සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් බවත්, මෙය මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ උපායමාර්ගික පියවරක් බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.














