මහා ශිවරාත්‍රි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී හින්දු බැතිමතුන් වෙත සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ අන්‍යෝන්‍ය ගෞරවය, ආගමික සහජීවනය සහ සාමකාමී එකමුතුකම අපේ රටේ ඇති සදාකාලික වටිනාම සම්පත් බවයි.
අඳුරෙන් ආලෝකය සොයා යන අධ්‍යාත්මික ගමනක් ලෙස මහා ශිවරාත්‍රිය හැඳින්වූ විපක්ෂ නායකවරයා, අසාධාරණය, නොදැනුවත්කම සහ අහංකාරය පරාජය කර නමස්කාරය, භක්තිය සහ භාවනාව තුළින් මනස පවිත්‍ර කර ගැනීමට මෙම උතුම් රාත්‍රිය මග පෙන්වන බව සඳහන් කළේය. ශිව දෙවියන් විනාශය තුළින් නවෝත්පාදනය නිර්මාණය කිරීම නියෝජනය කරන බැවින්, ජීවිතයේ අභියෝග හමුවේ පසුබට නොවී නව ආරම්භයක් සඳහා ආත්ම විශ්වාසයෙන් නැගී සිටිය යුතු බව එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.
සත්‍යය, යුක්තිය සහ දයාව ජීවිතයේ මූලික පදනම බව සිහිපත් කරන මහා ශිවරාත්‍රිය, අයුක්තියට වඩා සත්‍යයත්, අවිශ්වාසයට වඩා එකමුතුකමත්, අඳුරට වඩා ආලෝකයත් බලවත් බව තහවුරු කරන බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. වර්තමාන ආර්ථික හා සමාජීය අභියෝග මධ්‍යයේ වුවද, රටක් ලෙස වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට කැපවිය යුතු බවත්, හදවත් තුළ දැල්වෙන ආලෝකය සාමය, සමගිය සහ සමෘද්ධිය පිරි ශ්‍රී ලංකාවක් කරා මග පෙන්වනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන බවත් ඔහු සිය පණිවිඩය මගින් අවධාරණය කළේය.
















