ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව වැඩමවීමේ භාග්‍යය 13 වතාවක් හිමිකරගත්, මෙරට ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිස්ථාපනය කර මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම හෙට (10) සිදු කෙරේ. කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී පැවැත්වෙන මෙම සමාරම්භක උත්සවයෙන් අනතුරුව, අනිද්දා (11) සිට මහජනතාවට හස්තියාගේ ජීවමාන ස්වරූපයට සමාන අනුරුව දැකබලා ගත හැකි බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනෝජ් කස්තුරිආරච්චි මහතා සඳහන් කළේය.
ආසියාවේ උසම හස්තියා ලෙස විරුදාවලිය ලත් නැදුන්ගමුවේ රාජා, 2022 වසරේ මාර්තු 07 වැනිදා දිවිසැරිය නිමා කළ අතර, හස්තියා සතු වූ ආගමික හා සංස්කෘතික වටිනාකම මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් දේහය සංරක්ෂණය කිරීමට රජය තීරණය කළේය. ඒ අනුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ චර්ම විශේෂඥයින් කණ්ඩායමක් විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හස්තියාගේ චර්මය සහ දළ යුගලය සංරක්ෂණය කර මෙම අනුරුව නිර්මාණය කර ඇත. මෙය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ ප්‍රදර්ශනය කෙරෙන “රාජා” ඇතුගේ අනුරුවට සමාන අයුරින්ම නිමවා තිබීම විශේෂත්වයකි.
නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සුවිශේෂීත්වය වූයේ පෙරහැර මංගල්‍යයන් සඳහා කොපමණ දුරක් වුව ද පාගමනින්ම ගමන් කිරීමට දැක්වූ කැමැත්තයි. 2016 වසරේදී රාජා හස්තියා මුහුණ දුන් අනතුරක අවදානම පිළිබඳව හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයත් සමඟ හස්තියාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ද ලබා දීමට බලධාරීන් පියවර ගත්තේය. හස්තියා සහ “කළු මාමා” ලෙස හැඳින්වූ ඇත්ගොව්වා අතර පැවති අපූර්ව සබැඳියාව ද රාජාගේ සංයමයට ප්‍රධාන හේතුවක් වූ බව බොහෝ දෙනා පෙන්වා දෙති.














