වත්මන් ලෝක දේශපාලන හා ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද, මෙරට විදුලි කප්පාදුවක් සිදු කිරීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ලෝක බලවතුන් අතර පවතින යුදමය වාතාවරණය හමුවේ තීරණාත්මක පුරෝකථනයන් සිදු කළ නොහැකි බවත්, ඉන්ධන සහ ගල්අඟුරු සැපයුම් සම්පූර්ණයෙන් අඩාළ වුවහොත් විදුලිය අඛණ්ඩව ලබාදීම සම්බන්ධයෙන් නිශ්චිත අනාවැකි පැවසීම දුෂ්කර බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය තත්ත්වය වර්ධනය වන ආකාරය අනුව ඉදිරි තීන්දු තීරණ ගැනීමට සිදුවන බව පැවසූ අමාත්‍යවරයා, ඕනෑම උග්‍ර තත්ත්වයකට මුහුණ දීම සඳහා රජය සූදානමින් පසුවන බවද සඳහන් කළේය.
අර්බුදකාරී තත්ත්වයක් වර්ධනය වුවහොත්, ආර්ථිකය මැනවින් කළමනාකරණය කර ගනිමින් උපරිම ප්‍රමාණයකට අඛණ්ඩ බලශක්ති සැපයුමක් පවත්වාගෙන යාම රජයේ මූලික අරමුණ බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














