රජය ගනු ලැබූ වැරදි තීරණ නිසා සිදු වූ පාඩුව සාමාන්‍ය ජනතාව මත පැටවීම අසාධාරණ බවත්, රජයේ ගිණුම්වල රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක් පවතින්නේ නම් එම මුදල් භාවිත කර ජනතාවට සහන ලබා දිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීමෙන් සිදු වූ අතිවිශාල මූල්‍ය පාඩුව පියවා ගැනීමට ජනතාව මත බර පැටවීම වෙනුවට රජය සතු ප්‍රතිපාදන යොදාගත යුතු බවයි. මන්නාරම සුළං විදුලි බලාගාරය වැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට තමන් ධනාත්මක යෝජනා ඉදිරිපත් කළද, රජය ඒවා බැහැර කරමින් කටයුතු කළ බවට ඔහු චෝදනා කළේය.
ආණ්ඩුව සිය දේශපාලන නොහැකියාව වසා ගැනීමට පොලිසිය සහ රාජ්‍ය යාන්ත්‍රණය අවභාවිත කරමින් විපක්ෂය මර්දනය කිරීමට උත්සාහ කරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ගෝලීය අර්බුද හමුවේ වත්මන් පාලකයන් එදා විපක්ෂයේ සිටිමින් කටයුතු කළ කඩාකප්පල්කාරී ආකාරයට තමන් කටයුතු නොකරන බවත්, නමුත් ජනතාව පීඩාවට පත් කරන තීරණ හමුවේ නිහඬව නොසිටින බවත් ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම මැදපෙරදිග සහ රුසියා-යුක්‍රේන යුදමය වාතාවරණය හමුවේ තෙල් මිල ඉහළ යාම පාලනය කිරීමට රජය සතු මුදල් යොදාගත යුතු බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා, දේශපාලන වාසි තකා ජනතාව “වොෂින් මැෂින් පාඩම්” හරහා අපහසුතාවට පත් නොකරන ලෙස ද රජයෙන් ඉල්ලා සිටියේය.














