මුළු ලෝකයේම අවධානය දිනා ගනිමින්, වසර 53කට පසුව මිනිසුන් සහිත සඳ ගවේෂණ චාරිකාවක නිරත වීම සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු (04) රැගත් “Artemis II” යානය සාර්ථකව අභ්‍යාවකාශගත කර තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් අද (අප්‍රේල් 2) අලුයම 4.00ට පමණ මෙම ඓතිහාසික යානය ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ කේප් කැනවරල්හි පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් සිය ගමන ආරම්භ කළේය.
මෙම මෙහෙයුම දින 10ක කාලයක් පුරා ක්‍රියාත්මක වන අතර, මෙහි විශේෂත්වය වන්නේ යානය සඳ මත ගොඩබැසීමක් හෝ සඳ වටා කක්ෂගත වීමක් සිදු නොකිරීමයි. ඒ වෙනුවට සඳුගේ පිටුපසින් ගමන් කර (Flyby) නැවත පෘථිවිය වෙත පැමිණීම මෙහිදී සිදුවේ. ඇපලෝ (Apollo) මෙහෙයුම්වලින් පසුව මිනිසෙකු සඳ ආසන්නයටම ගමන් කරන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ.
මෙම සුවිශේෂී මෙහෙයුම පිළිබඳව අදහස් දැක්වූ අභ්‍යාවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා සඳහන් කළේ, අනාගතයේදී චන්ද්‍රයා මත ස්ථිර මිනිස් ජනාවාසයක් ඇති කිරීම සහ අඟහරු ග්‍රහයා වෙත යාම සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම මෙම Artemis වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන බවයි.














