අඩ සියවසකට අධික කාලයකට පසු ප්‍රථම වතාවට මිනිසුන් රැගත් යානයක් සඳ බලා පිටත් කර හැරීමේ ඓතිහාසික ‘ආර්ටෙමිස් II’ මෙහෙයුම හෙට (අප්‍රේල් 01) ආරම්භ කිරීමට නාසා (NASA) ආයතනය සියලු කටයුතු සූදානම් කර තිබේ. තාක්ෂණික දෝෂ කිහිපයක් හේතුවෙන් මීට පෙර අවස්ථා දෙකකදී ප්‍රමාද වූ මෙම මෙහෙයුම සඳහා අප්‍රේල් 01 සිට 06 දක්වා කාලය තුළ හිතකර දියත් කිරීමේ අවස්ථාවක් (Launch Window) පවතින බව නාසා ආයතනය තහවුරු කරයි.
ධෛර්ය සම්පන්න ගගනගාමීන් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳ වටා ගොස් නැවත පෘථිවිය බලා පැමිණීම මෙම මෙහෙයුමේ අරමුණයි. පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේදී මෙම යානය පැයට සැතපුම් 25,000ක (කිලෝමීටර් 40,000ක) වාර්තාගත වේගයකින් ගමන් කරනු ඇත. රොකට්ටුවේ හීලියම් පද්ධතියේ ඇති වූ දෝෂයන් මේ වන විට සම්පූර්ණයෙන්ම නිවැරදි කර ඇති බවත්, සියලු මෙහෙයුම් කටයුතු ඉතා සුමටව සිදුවන බවත් නාසා බලධාරීහු පවසති.
මෙම සංචාරයේදී සඳ මත ගොඩබැසීමක් සිදු නොවන නමුත්, එය අනාගතයේදී සඳ මත ස්ථිර මානව පදනමක් පිහිටුවීමට සහ ඉන් අනතුරුව අඟහරු ලොව බලා ගගනගාමීන් යැවීමේ නාසා සැලසුම්වල තීරණාත්මක පියවරකි. 2022 වසරේදී සාර්ථකව නිම කළ ‘ආර්ටෙමිස් I’ නියමුවන් රහිත මෙහෙයුමෙන් පසු ක්‍රියාත්මක වන මෙම දෙවන අදියර, නවීන අභ්‍යවකාශ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














