වසර 53කට පසු ප්‍රථම වතාවට මිනිසුන් සහිත යානයක් සඳ වෙත යැවීමේ ඓතිහාසික “ආටෙමිස් II” (Artemis II) මෙහෙයුම සඳහා වන අවසන් හෝරා ගණන් කිරීම (Countdown) නාසා ආයතනය විසින් ඊයේ (30) ආරම්භ කරන ලදී. තට්ටු 32ක ගොඩනැගිල්ලක් තරම් උසැති දැවැන්ත Space Launch System (SLS) රොකට්ටුව මඟින් ගගනගාමීන් සිව්දෙනෙකු රැගත් ඔරියන් (Orion) කැප්සියුලය හෙට (අප්‍රේල් 01) සන්ධ්‍යාවේදී අභ්‍යවකාශගත කිරීමට නියමිතය.
මෙම දස දින මෙහෙයුමේදී ගගනගාමීන් සඳ මත ගොඩබැසීමක් සිදු නොකරන අතර, සඳ වටා ගොස් යළි පෘථිවිය බලා පැමිණ පැසිෆික් සාගරයට පතිත වීමට නියමිතව තිබේ. මීට පෙර හයිඩ්‍රජන් ඉන්ධන කාන්දුවීම් සහ හීලියම් පීඩන පද්ධතියේ ඇතිවූ දෝෂ හේතුවෙන් මෙම මෙහෙයුම ප්‍රමාද වුවද, මේ වන විට සියලු අලුත්වැඩියාවන් අවසන් කර ඇති බව නාසා කළමනාකරුවන් පවසති. කාලගුණ තත්ත්වය ද හෙට දිනයේදී මෙහෙයුමට හිතකර වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
මෙම ඓතිහාසික ගමන සඳහා ඇමෙරිකානු සහ කැනේඩියානු ගගනගාමීන් සිව්දෙනෙකු එක්වන අතර ඔවුන් පසුගිය සිකුරාදා දියත් කිරීමේ මධ්‍යස්ථානයට ළඟා විය. SLS රොකට්ටුවේ පවතින ඉන්ධන පද්ධති සහ සන්නිවේදන උපාංග මේ වන විට උපරිම මට්ටමින් ක්‍රියාත්මක වන බව නාසා ආයතනය තහවුරු කර තිබේ.
















