ශ්‍රී ලංකාවේ විශාලතම නා වනාන්තරය වන ‘ජාතික නාමල් උයන’ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. හෙක්ටයාර 602ක පමණ භූමි ප්‍රමාණයක පැතිරී පවතින මෙම භූමිය ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ පාරිසරික වශයෙන් සුවිශේෂී වටිනාකමකින් යුත් ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත.
විශේෂයෙන්ම නාමල් උයනෙහි පිහිටි රෝස තිරුවාණා කඳුවැටියට අනන්‍ය වූ ඛනිජ සහ විද්‍යාත්මක ලක්ෂණ මෙන්ම, එහි ඇති වියළි කලාපීය වනාන්තර පද්ධතිය සහ පැරණි බෞද්ධ ආරාම සංකීර්ණවල නටබුන් මෙම තීරණයට ප්‍රධාන හේතු වී තිබේ. මෙය දුර්ලභ භූවිද්‍යාත්මක හා සංස්කෘතික උරුමයන්ගේ එකතුවක් ලෙස විද්වත් කමිටු විසින් නිර්දේශ කර ඇත.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි යන මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවට මෙලෙස අනුමැතිය හිමිවිය. මෙම ප්‍රකාශනයත් සමඟ නාමල් උයනෙහි ආරක්ෂාව සහ සංරක්ෂණ කටයුතු තවදුරටත් විධිමත් වනු ඇත.
මෙම ඓතිහාසික පියවර හරහා ජාතික නාමල් උයන මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කර තැබීමටත්, එහි පාරිසරික වටිනාකම ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කිරීමටත් රජය අපේක්ෂා කරයි.














