2026 මාර්තු 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ශ්‍රී ලංකාවේ ජාතික සැමරුම් උත්සවය මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. කොළඹින් බැහැරව මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම හරහා ග්‍රාමීය කාන්තාවන්ගේ දායකත්වය අගය කිරීමට සහ ඔවුන්ට නව අවස්ථා උදාකර දීමට රජය අපේක්ෂා කරයි.
කාන්තා දින සැමරුම මාතර නගරයේ
මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම මාතරදී පැවැත්වීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඒ අනුව රුහුණු විශ්වවිද්‍යාලයීය රවීන්ද්‍රනාත් තාගෝර් ශාලාව සහ මාතර වෙරළ උද්‍යාන පරිශ්‍රයන්හිදී මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය. මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති ගෝලීය තේමාව වන්නේ “Rights. Justice. Action. For ALL Women and Girls” (සියලු කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට: අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාකාරීත්වය) යන්නයි.
කාන්තාවන් සතු සමාජීය, දේශපාලනික සහ ආර්ථික අයිතිවාසිකම් තහවුරු කරමින් ඔවුන්ව වඩාත් සක්‍රිය ලෙස රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීම මෙම ජාතික සැමරුමේ ප්‍රධාන අරමුණ වේ. විශේෂයෙන්ම කොළඹින් බැහැරව මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම හරහා ග්‍රාමීය කාන්තා ව්‍යවසායිකාවන්ට නව වෙළෙඳපොළ අවස්ථා උදාකර දීම, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට අවශ්‍ය දැනුවත්භාවය ලබා දීම සහ සමාජයට සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ කාන්තාවන් ඇගයීම ද මෙහිදී අපේක්ෂා කෙරේ.














