නාවලපිටිය රඹුක්පිටිය, කැන්දෝපිටිය සහ වැලිගම්පොල ඇතුළු ප්‍රදේශ රැසක නිවාස බිඳ රන් භාණ්ඩ හා මුදල් සොරාගත් බව කියන “ටික්කා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු අයිස් මත්ද්‍රව්‍යයට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නිවාස බිඳීම් සම්බන්ධයෙන් මොහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණි.2026 ජනවාරි 22 වැනිදා ඇප මත නිදහස් වූ පසු, ඔහු නිවාස 8ක් බිඳ රුපියල් ලක්ෂ 35කට ආසන්න රන් භාණ්ඩ, රුපියල් 40,000ක මුදල් සහ ජංගම දුරකථන 4ක් සොරාගෙන ඇත.සොරාගත් මුදල් සියල්ල මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා වියදම් කර ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත. අයිස් මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු තමාට නිවාස බිඳීමට දැඩි සිතුවිලි ඇතිවන බව ඔහු පොලිසිය හමුවේ පවසා තිබේ.රාජකාරි කටයුතු සඳහා නිවෙස්වලින් බැහැර වන ගුරුවරුන්, බැංකු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ගේ නිවාස ඔහු සිය ඉලක්කය කරගෙන තිබේ.නාවලපිටිය පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මොහු සොරාගත් රන් භාණ්ඩ තම නිවස ආසන්නයේ වළ දමා තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















