පසුගිය මාර්තු 03 වැනිදා සිට 18 වැනිදා දක්වා කාලය තුළ දිවයිනේ විවිධ මුහුදු ප්‍රදේශවල සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 53 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ. තහනම් දැල් භාවිතය, පුපුරණ ද්‍රව්‍ය සහ විදුලි ආලෝක ධාරා යොදාගනිමින් මසුන් මැරීම මෙන්ම බලපත්‍ර රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකිරීම යන චෝදනා මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුම්වලදී සැකකරුවන්ට අමතරව ඩිංගි යාත්‍රා 13ක් සහ ට්‍රැක්ටර් රථ 4ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. මන්නාරම (වෙඩිතලතිව්, සවුත්බාර්, වන්කාලෙයි), පුත්තලම (උඩප්පුව), මඩකලපුව (වාකරේ, කළුවන්කේනී), යාපනය (මන්ඩතිව්) සහ ත්‍රිකුණාමලය ඇතුළු වෙරළබඩ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි මෙම වැටලීම් ක්‍රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගත් පිරිස සහ භාණ්ඩ අතර වාණිජ පුපුරණ ද්‍රව්‍ය හා තහනම් ධීවර ආම්පන්න ද වන අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකාය, ධීවර පරීක්‍ෂක කාර්යාල සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර තිබේ. සාගර සම්පත් සුරැකීම සහ දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව නාවික හමුදාව අවධාරණය කරයි.














