මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඊට අදාළ විවිධ අපරාධවලට සම්බන්ධ වූ බවට සැකකෙරෙන පොලිස් නිලධාරීන් 100කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අනාවරණය කළේය. ඌව පළාතේ පැවති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනක් සමාරම්භ කරමින් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන තුළට මෙම මත්ද්‍රව්‍ය ව්‍යසනය දැඩි ලෙස කාන්දු වී ඇති බවයි. පසුගියදා මත්ද්‍රව්‍ය ග්‍රෑම් 700ක් සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව පෙන්වා දුන් පොලිස්පතිවරයා, පොලිස් නිලධාරියෙකු වූ පමණින් කිසිදු වරදක් සඟවා තැබීමට හෝ නීතිමය ක්‍රියාමාර්ගවලින් මඟහැරීමට ඉඩ නොදෙන බවත් ඔවුන්ට එරෙහිව වඩාත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කළේය.
අත්අඩංගුවට ගත් මෙම නිලධාරීන් සියල්ලන්ම පොලිස් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල ඇතැම් පිරිස් ද මත්ද්‍රව්‍ය ජාවාරමට හා ඇබ්බැහිවීමට සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිළිබඳ තොරතුරු ලබාදීමට මහජනතාවට පූර්ණ අවස්ථාව ඇති බවත්, ඒ සඳහා තම ජංගම දුරකථනය පැය 24 පුරාම විවෘතව පවතින බවත් පවසමින් පොලිස්පතිවරයා මහජන සහයෝගය ඉල්ලා සිටියේය.













