ලොව පුරා සීඝ්රයෙන් ව්‍යාප්ත වන කෘතිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා අවශ්‍ය පරිගණක බලය සහ යටිතල පහසුකම් සැපයීමේ අරමුණින්, යුරෝපයේ විශාලතම AI කර්මාන්තශාලාවක් (AI Factory) ෆින්ලන්තයේ ලැපීන්රන්ටා (Lappeenranta) නගරයේ ඉදිකිරීමට ලන්දේසි වලාකුළු තාක්ෂණ (Cloud) සමාගමක් වන නෙබියස් (Nebius) පියවර ගෙන තිබේ. මෙම දැවැන්ත ව්‍යාපෘතිය පිළිබඳ නිල නිවේදනය අද (31) නිකුත් කෙරිණි.
මෙම මධ්‍යස්ථානය මෙගාවොට් 310ක (310 MW) බලශක්ති ධාරිතාවයකින් යුක්ත වන අතර, එය සාමාන්‍ය හයිපර්ස්කේල් (Hyperscale) දත්ත මධ්‍යස්ථාන තුනක බලයට සමාන බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) පවසයි. අධි බලැති පරිගණකවල උෂ්ණත්වය පාලනය කිරීම සඳහා මෙහි සංවෘත පරිපථ ද්‍රව සිසිලන පද්ධතියක් (Closed-loop liquid cooling system) භාවිතා කරන අතර, එමඟින් ජල පරිභෝජනය අවම මට්ටමක පවත්වා ගැනීමට හැකි වන බව නෙබියස් සමාගම අවධාරණය කරයි.
කෘතිම බුද්ධි ආකෘති පුහුණු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන අතිවිශාල දත්ත ගබඩා කිරීමේ සහ සැකසීමේ පහසුකම් මෙම මධ්‍යස්ථානය හරහා සැලසෙනු ඇත. යුරෝපය තුළ AI තාක්ෂණික ස්වාධීනත්වය තහවුරු කිරීමට මෙම ව්‍යාපෘතිය තීරණාත්මක බලපෑමක් කරනු ඇතැයි තාක්ෂණික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














