පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී නේපාලයේ ඇති වූ “Gen Z” තරුණ විරෝධතා ව්‍යාපාරය අතිශය දරුණු ලෙස මර්දනය කිරීමට සම්බන්ධ වූ බවට චෝදනා කරමින් කාත්මණ්ඩු හිටපු දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරී (CDO) ජබී රිජාල් (Chhabi Rijal) අද (31) අත්අඩංගුවට ගෙන තිබේ. කාත්මණ්ඩු හි සුබිධිනගර් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී නේපාල පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
බාල්න්ද්‍ර ෂා (Balendra Shah) ගේ නායකත්වයෙන් යුත් නව රජය පත් වීමෙන් පසු පැවැත්වූ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී, එම මර්දනය පිළිබඳ විමර්ශනය කළ කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ. පුද්ගලයින් 76 දෙනෙකුට ජීවිත අහිමි වූ එම විරෝධතා මර්දනය සම්බන්ධයෙන් හිටපු අගමැති කේ. පී. ෂර්මා ඕලි (K.P. Sharma Oli) සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛක් (Ramesh Lekhak) ද පසුගිය දිනවල අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අතර, හිටපු අගමැති ඕලි නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුව නිදහස් කිරීමට අතුරු නියෝගයක් නිකුත් කිරීම ඊයේ (30) ප්‍රතික්ෂේප කළේය. මේ හේතුවෙන් එරට තුළ තවදුරටත් රජයට එරෙහි විරෝධතා ක්‍රියාත්මක වෙමින් පවතී.














