සමාජ මාධ්‍ය තහනම් කිරීමට නේපාල රජය ගත් තීරණයත් සමඟ එරට තරුණ පරපුර (Gen Z) දියත් කළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් කේ.පී. ඕලිගේ (KP Oli) රජය ඇද වැටීමෙන් පසු, නව රජයක් තෝරා ගැනීම සඳහා වූ මහ මැතිවරණය ඊයේ (මාර්තු 05) සාර්ථකව පවත්වා තිබෙනවා. නේපාල මැතිවරණ කොමිෂන් සභාවට අනුව 60% ක පමණ ඡන්ද ප්‍රතිශතයක් මෙවර වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
2025 වසරේදී එවකට පැවති රජය විසින් සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීමට පියවර ගැනීමත් සමඟ, ‘හාමි නේපාල’ (Hami Nepal) වැනි ක්‍රියාකාරී කණ්ඩායම් එක්ව තරුණ පරපුර සංවිධානය කරමින් රජයට එරෙහිව වීදි බැස තිබුණා. දූෂණයට සහ ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමට එරෙහිව ඇති වූ මෙම විරෝධතාවලදී පුද්ගලයන් 77 දෙනෙකුට පමණ සිය ජීවිත අහිමි වූ අතර, අවසානයේ එම ජනතා බලය හමුවේ ඕලි රජයට ඉල්ලා අස්වීමට සිදුවුණා.
මෙම දේශපාලන පෙරළිය ලෝක ඉතිහාසයේ සමාජ මාධ්‍ය සතු බලය විදහා දැක්වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකෙනවා. විශේෂයෙන්ම ‘ඩිස්කෝඩ්’ (Discord) වැනි වේදිකා ඔස්සේ තරුණයන් එක්ව විරෝධතා මෙහෙයවීම නේපාල දේශපාලනයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළා. මැතිවරණයෙන් පසු පත්වන නව රජය නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ මාධ්‍ය නිදහස සුරක්ෂිත කරනු ඇතැයි ජනතාව දැඩි බලාපොරොත්තුවෙන් පසුවනවා.














