පසුගිය වසරේ ඇති වූ තරුණ නැගිටීම හමුවේ කේ.පී. ෂර්මා ඕලිගේ රජය බිඳවැටීමෙන් පසු නේපාලයේ පවත්වනු ලබන පළමු මහා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. අන්තර්කාලීන අගමැතිනිය ලෙස සුෂීලා කාර්කි කටයුතු කරන වත්මන් වාතාවරණය තුළ පවත්වන මෙම මැතිවරණය නේපාලයට මෙන්ම එහි අසල්වැසි ඉන්දියාවට ද දේශපාලනික වශයෙන් ඉතා තීරණාත්මක වේ. සෘජු ඡන්දයෙන් තේරී පත්වන ආසන 165ක් සහ සමානුපාතික ක්‍රමය යටතේ හිමිවන ආසන 110ක් වෙනුවෙන් අපේක්ෂකයෝ දහස් ගණනක් මෙවර තරඟ බිමට පිවිස සිටිති.
මෙවර මැතිවරණයේදී හිටපු මාක්ස්වාදී අගමැතිවරයෙකු, තරුණ ඡන්ද ඉලක්ක කරගත් රැප් ගායකයෙකු මෙන්ම හිටපු නගරාධිපතිවරයෙකු වන බැලන් ෂා (Balen Shah) සහ නේපාල කොංග්‍රස් පක්ෂයේ නව නායකයා ප්‍රධාන වශයෙන් කරට කර සටනක නිරත වෙති. භූගෝලීය, ඓතිහාසික සහ ආර්ථික වශයෙන් නේපාලය සමඟ සමීප සබඳතාවක් පවත්වන ඉන්දියාව, මෙම මැතිවරණ ප්‍රතිඵලය දෙස විමසිල්ලෙන් පසුවන්නේ එරට බලයට පත්වන නව රජය ඉන්දියාව සමඟ පවතින දේශසීමා ආරවුල් සහ ද්විපාර්ශ්වික සබඳතා මෙහෙයවන ආකාරය මත කලාපීය ස්ථාවරත්වය තීරණය වන බැවිනි.














