පාස්කු උත්සව සමය ඉලක්ක කරගනිමින් ඉතාලියේ සිට පෝලන්තය බලා ප්රවාහනය කරමින් තිබූ ටොන් 12ක් බරැති කිට්කැට් චොකලට් තොගයක් යුරෝපයේදී අතුරුදන් වී තිබේ. නෙස්ලේ (Nestlé) සමාගමට අයත් මෙම තොගය තුළ චොකලට් බාර් 400,000කට අධික ප්රමාණයක් තිබූ බව බලධාරීන් තහවුරු කරයි.
මෙම සොරකම හේතුවෙන් ඉදිරි පාස්කු සමයේදී ඇතැම් වෙළෙඳපොළවල කිට්කැට් චොකලට් හිඟයක් ඇතිවිය හැකි බවට නෙස්ලේ සමාගම අනතුරු අඟවා ඇත. අතුරුදන් වූ ට්රක් රථය සහ චොකලට් තොගය සොයා බලධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙය සැලසුම්සහගත මංකොල්ලයක් බවට සැක කෙරේ. පාස්කු සමයේ චොකලට් සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් සිල්ලර වෙළෙඳුන් තොග රැස්කරමින් සිටින අවස්ථාවක මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි.













