ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග පැවැත්විය හැකි පරිදි නවීන පහසුකම්වලින් සමන්විත දැවැන්ත ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු රජය විසින් ආරම්භ කර තිබේ. මේ සඳහා යෝජිත අනුරාධපුර ලෝලුගස්වැව මංසන්දියේ පිහිටි අක්කර 200ක භූමිය නිරීක්ෂණය කිරීම ඊයේ (13) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් සිදු විය. විලච්චිය, තන්තිරිමලේ සහ විල්පත්තුව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයට මෙන්ම අනුරාධපුර පූජා භූමියට ද සමීපව පිහිටි මෙම භූමිය අලුත්නුවර ජනතාව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියට සහ මෙම නව ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා වෙන් කර ඇත.
මෙම නව ක්‍රීඩා සංකීර්ණය තුළ ගෘහස්ථ ක්‍රීඩාංගනයක්, පාපන්දු සහ රගර් ක්‍රීඩා සඳහා වෙන් වූ පිටියක් මෙන්ම මීටර් 400ක සින්තටික් ධාවන පථයක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. දැනට මෙරට තුළ පවතින සින්තටික් ධාවන පථ දෙකම කොළඹ කේන්ද්‍ර කරගනිමින් දියගම සහ සුගතදාස ක්‍රීඩාංගනවල පමණක් පවතින බැවින්, අනුරාධපුරයේ මෙවැනි පහසුකමක් ස්ථාපිත කිරීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් වනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම ව්‍යාපෘතිය සාර්ථක වීම හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් නොව වවුනියාව, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, කුරුණෑගල සහ පුත්තලම යන අවට දිස්ත්‍රික්ක රැසක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඔප්නංවා ගැනීමට මහඟු අවස්ථාවක් උදාවනු ඇත. සීග්‍රයෙන් සංවර්ධනය වන කලාපයක් ලෙස හඳුනාගෙන ඇති ලෝලුගස්වැව ප්‍රදේශයේ මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීමෙන් උතුරු මැද පළාතේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව පුනරුදයක් ඇති කිරීම රජයේ ප්‍රධාන අරමුණයි.














