පවත්නා සංචාරක පනතේ ඇති දුර්වලතා මඟහරවා ගනිමින්, සංචාරක ක්ෂේත්‍රයේ නීති විරෝධී ක්‍රියාවල නිරත වන්නන්ට දඬුවම් පැමිණවිය හැකි පරිදි නව සංචාරක පනතක් මේ වසර අවසන් වීමට පෙර හඳුන්වා දෙන බව සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික සුරංජිත් වෑවිට මහතා පවසයි. මහනුවරදී පැවති VISA (Vocational Initiative for Sustainable Ambassadors in Tourism) ව්‍යාපෘතියේ සහතික පත් ප්‍රදානෝත්සවයේදී ඔහු මේ බව අනාවරණය කළේය.
දැනට පවතින 2005 අංක 38 දරන පනත යටතේ සංචාරක වීසා මත පැමිණ මඟපෙන්වන්නන් ලෙස කටයුතු කරන හෝ වෙළඳාම් කරන විදේශිකයන්ට දඬුවම් දීමේ හැකියාවක් නොමැති අතර, ඔවුන්ට කළ හැක්කේ රටින් පිටුවහල් කිරීම පමණි. මෙම නීතිමය හිඩැස පිරවීම සඳහා නව පනත මගින් එවැනි වැරදි සම්බන්ධයෙන් දැඩි දඬුවම් හඳුන්වා දීමට නියමිතය. එසේම නව නීතිය හරහා සංචාරක පොලිස් කොට්ඨාසයේ බලතල වැඩි කිරීමටත්, ලියාපදිංචි නොවී සංචාරක ව්‍යාපාරයේ නිරත වීම වැළැක්වීමටත් පියවර ගැනේ. ක්ෂේත්‍රයට පිවිසෙන පිරිසට ලියාපදිංචි වීමේ සුදුසුකම් ලිහිල් කර වැඩි පිරිසකට අවස්ථාව ලබා දීමට ද මෙහිදී කටයුතු සූදානම් කර ඇත.
සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වතුකරය ආශ්‍රිත කිලෝමීටර් 311ක පෙකෝ ට්‍රේල් (Pekoe Trail) මඟ සඳහා විදේශිකයන් විශාල උනන්දුවක් දක්වන බවයි. දැනට දිනකට සංචාරකයන් 500ක් පමණ මෙයට එකතු වන අතර එය වතුකරයේ ජනතාවට නව ආදායම් මාර්ගයක් වී ඇත. මීට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික ශාක පද්ධතිය ආරක්ෂා කරමින් ජාන මංකොල්ලය වැළැක්වීමට මඟපෙන්වන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වේ. වර්තමානය වන විට සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා කාන්තාවන් යොමුවීම ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.














