නිව්යෝර්ක් නගරයේ නගරාධිපති සොහ්රාන් මම්දානි මහතාගේ නිල නිවස වන ග්‍රේසි මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරතුර සැකකටයුතු පුපුරණ ද්‍රව්‍යයක් දල්වා විසි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2026 ජනවාරි මාසයේදී වැඩභාරගත් නිව්යෝර්ක් නගරයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා වන මම්දානි මහතා ඉලක්ක කර මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
සිද්ධියේ සාරාංශය මෙසේය. දකුණු පියාපාලන ක්‍රියාකාරිකයෙකු වන ජේක් ලැන්ග් විසින් “නිව්යෝර්ක් නගරය ඉස්ලාම්කරණය වීම නවත්වනු” යන තේමාවෙන් සංවිධානය කර තිබූ විරෝධතාවයකට එරෙහිව තවත් පිරිසක් ප්‍රති-විරෝධතාවයක නිරත වී ඇත. එහිදී විරෝධතාකරුවන් පිරිසක් විසින් ප්‍රති-විරෝධතාකරුවන් වෙත පෙපර් ස්ප්‍රේ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් අනතුරුව 18 හැවිරිදි තරුණයෙකු විසින් දුමාරය සහ ගිනිදැල් නිකුත් කරන සැකකටයුතු උපාංගයක් දල්වා විසි කර තිබේ. නිව්යෝර්ක් පොලිස් කොමසාරිස් ජෙසිකා ටිෂ් සඳහන් කළේ මෙම උපාංගය කළු පැහැති ටේප්වලින් ඔතන ලද, බෝල්ට් සහ ඇණ පුරවන ලද බෝතලයක් වැනි එකක් බවයි. සිද්ධිය වන අවස්ථාවේ නගරාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නිවසේ සිට ඇති නමුත් ඔවුන්ට කිසිදු හානියක් සිදුව නොමැති බව නගරාධිපති කාර්යාලය තහවුරු කරයි. නිව්යෝර්ක් පොලිසිය සහ FBI ආයතනය එක්ව මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වන අතර මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක්ද යන්න පිළිබඳව ද අවධානය යොමු කර ඇත.














