උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඔහුගේ නව යොවුන් වියේ පසුවන දියණිය, යුද ටැංකි සහ පාබල හමුදා ඒකක ඒකාබද්ධව පැවැත්වූ හමුදා පුහුණු අභ්‍යාසයකට පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු 19) සහභාගී වී තිබේ. එහිදී කිම් ජොන් අන්ගේ දියණිය විසින් යුද ටැංකියක් පදවන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය (KCNA) විසින් අද (මාර්තු 20) ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම පුහුණු අභ්‍යාසයේදී උතුරු කොරියාව විසින් අලුතින් නිපදවන ලද ප්‍රධාන යුද ටැංකියක (Main Battle Tank) ක්‍රියාකාරිත්වය පරීක්ෂා කර ඇත. මෙම ටැංකිය ඩ්‍රෝන ප්‍රහාර සහ මිසයිලවලින් ආරක්ෂා වීමේ අතිනවීන පද්ධතිවලින් සමන්විත බවත්, එය ලොව පවතින බලවත්ම ටැංකියක් බවත් කිම් ජොන් අන් ප්‍රකාශ කර තිබේ. දකුණු කොරියානු ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ ඇය සමතලා පොළොවක ඉතා අඩු වේගයකින් මෙම ටැංකිය පදවා ඇති බවයි.
කිම් ජු-ඒ (Kim Ju-ae) ලෙස හඳුන්වනු ලබන මෙම දියණිය (ඇයගේ නම මෙතෙක් උතුරු කොරියානු මාධ්‍ය නිල වශයෙන් ප්‍රකාශ කර නැත), මෑත මාසවලදී මිසයිල අත්හදා බැලීම්, හමුදා පෙළපාලි සහ කර්මාන්තශාලා නිරීක්ෂණ වැනි ඉහළ පෙළේ හමුදාමය අවස්ථාවන්ට නිරන්තරයෙන් සහභාගී වනු දක්නට ලැබුණි. ඇයව “වඩාත්ම ආදරණීය” හෝ “ගෞරවනීය” දියණිය ලෙස රාජ්‍ය මාධ්‍ය හඳුන්වන අතර, දකුණු කොරියානු බුද්ධි අංශ (NIS) පසුගිය පෙබරවාරියේදී ප්‍රකාශ කළේ ඇය දැන් “අනුප්‍රාප්තිකයා ලෙස නම් කිරීමේ මට්ටමට” (Successor-designate stage) පැමිණ ඇති බවයි.
මෙම හමුදා පුහුණුව සිදු වූයේ ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව පවත්වනු ලබන වාර්ෂික ‘ෆ්‍රීඩම් ෂීල්ඩ්’ (Freedom Shield) හමුදා අභ්‍යාසවලට ප්‍රතිචාරයක් වශයෙනි. උතුරු කොරියාව මෙම ඒකාබද්ධ අභ්‍යාස හඳුන්වන්නේ තමන් ආක්‍රමණය කිරීමට සිදු කරන පෙරහුරුවක් ලෙසයි. කිම් ජොන් අන් සිය දියණිය සමඟ මෙවැනි හමුදාමය අවස්ථාවලට පෙනී සිටීම හරහා සිය පවුල් පාලනය සිව්වන පරම්පරාව දක්වා ගෙන යාමට අවශ්‍ය පදනම සකසමින් සිටින බව විශ්ලේෂකයෝ පවසති.













